මේ රට උතුරු කොරියාවක් කරන තනි පක්ෂයක ඒකාධිපති ගමන වැළැක්වීමට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වී කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ පෙරේදා (25) බද්දේගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලීලානන්ද ඩයස් මහතා සංවිධාන කළ එජාප ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
“පක්ෂය සහ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශ්වාසය තබා සියලු දෙනා එකතුවී පළාත් පාලන ඡන්දය දිනවීමට කටයුතු කරන්න. දැන් සමුපකාර ඡන්දවලින් ජාතික ජන බලවේගය හෝදාගෙන යනවා. විපක්ෂයේ එකමුතුකම නිසා සමුපකාර ඡන්ද ජය ගැනීමට හැකිවී තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය ඇතුළු සියලු කණ්ඩායම් එකතු කරගෙන පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.
රනිල්ගේ වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. රනිල්ටත් වඩා හොඳින් රනිල්ගේ වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුව කාලයේ ඇමැති කාර්ය මණ්ඩලය පහයි. දැන් දොළහයි. හොරු අල්ලනවා කියලා ප්‍රදර්ශන තියනවා. පසුගිය රජයේ මැති ඇමැතිවරුන් පාවිච්චි කළ වාහන ගෝල්ෆේස් පිටියට ගෙනාවා. ඒවා අපි පාවිච්චි කරන්නේ නෑ කිව්වා. දැන් ඒවා කිසිම හිරිකිතයක් නැතිව මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාවිච්චි කරනවා. බස්වල කෑලි ගැලෙව්වා. ත්‍රීවීල්වල කෑලි ගැලෙව්වා. එකලස් කර වාහන ළඟ තබා ගන්නවා කියමින් දේශපාලනඥයන් අත්අඩංගුවට ගන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව දෙන්න ඕනෙ. මේ යන විදිහට ගියොත් ජාතික ජන බලවේගයේ 159 දෙනාටම ආරක්ෂාව දීමට අපට සිදු වෙනවා.”
දික්වැල්ලේ තිලකරත්න – ගාල්ල උතුර සමූහ