Home » ගැලනිගම අධිවේගී පාලම යට ඇළමාර්ගයට ජරාවතුර මුදාහළ ගලි බවුසරය සහ රියැදුරා අත්අඩංගුවට

ගැලනිගම අධිවේගී පාලම යට ඇළමාර්ගයට ජරාවතුර මුදාහළ ගලි බවුසරය සහ රියැදුරා අත්අඩංගුවට

by sachintha
January 27, 2025 2:34 am 0 comment

බණ්ඩාරගම, ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට, කානු පද්ධතිය හරහා අපජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියැදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලීසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

ඒ සමඟම එම ආයතනය හිමිකාරිය බව කියන කාන්තාවක් පලාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.

මධ්‍යම රාත්‍රියේදී අධිවේගී පාලම යට ගිමන් හරින මුවාවෙන් බවුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අපජලය බැහැර කර තිබූ බව පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මේ හේතුවෙන් එම ප්‍රදේශය දැඩි දුගඳින් පිරි ඇළේ මාළුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබූ අතර අක්කරයක පමණ කුඹුරු යායක ගොයමකට ද විශාල වගා හානියක් සිදුව තිබූ බව පොලීසිය පවසයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ එම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදු කළ සොයාබැලීමේදී ඇළ මාර්ගයට ජලය බැස යන කානු පද්ධතිය තුළින් අපජලය බැහැරවන අයුරු දැකීමෙන් අනතුරුව ඒ ඔස්සේ ගිය ප්‍රදේශවාසීන්ට අධිවේගී පාලම යට බවුසරයක් නවතාගෙන පුද්ගලයකු සිටින අයුරු දැක ඔහු අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කර ඇත. මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවක ද මේ ආකාරයෙන්ම පාලම අසල ගිමන් හරින මුවාවෙන් කානු පද්ධතිය හරහා ඇළ මාර්ගයට අප ජලය මුසුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් ඉවතලන අපජලය බවුසර් මඟින් මුදලට ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය රියැදුරා සේවය කරන පානදුර, දිග්ගල ප්‍රදේශයේ ආයතනයට දුරකතනයෙන් අමතා සිදු කළ නියෝගයක් අනුව අදාළ කානු පද්ධතිය ජලය යොදා සුද්ද පවිත්‍ර කිරීමට සහ ඇළ මාර්ගයට යොමු කර තිබූ ජලය පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අධීක්ෂණය යටතේ නැවත ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

සිදුව තිබූ වගා හානිය සම්බන්ධයෙන් වාර්තාවක් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිවරයා ලවා පොලීසිය වෙත ඉදිරිපත් කරන ලෙසත් එය අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලීසිය ගොවීන්ට දැනුම් දීමට කටයුතු කළේය.

අත්අඩංගුවට ගත් බව රියැදුරා සහ පොලිස් භාරයට ගත් බවුසර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT