වැලිගම, කළුකන්ද ප්‍රදේශයේ වෙරළාසන්නයේ පිහිටි විශාල සමාගමකට අයත් හෝටලයක ඉන්ධන ටැංකියක තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් ඒ අසල මුහුදට යැවීමෙන් ඒ අවට මුහුදට බරපතළ පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශයේ ධීවරයන් හා පරිසරවේදීහු පෙන්වා දෙති.
ඔවුන් පවසන්නේ, මෙම හෝටලයේ විදුලි ජනක යන්ත්‍ර භාවිතය සඳහා තැන්පත් කර තිබූ ඉන්ධන ලීටර් 20,000ක ටැංකියකින් ඉන්ධන ලීටර් 7,000ක් පමණ මෙසේ මුහුදට මුදා හැර ඇත්තේ මෙම හෝටලයේ අපද්‍රව්‍ය මුහුදට දැමීම සඳහා තැනූ කොන්ක්‍රීට් කානුවක් මඟින් බවයි. මෙයට පෙරද මෙවැනිම ඉන්ධන තොගයක් මුහුදට යවා ඇතැයි ද ධීවරයෝ පවසති.
මේ සම්බන්ධයෙන් අප සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ සඳුන් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම මාතර කාර්යාලයේ නිලධාරින් එහි යවා පරීක්ෂණ ආරම්භ කළ අතර, එම මුහුදු ප්‍රදේශයෙන් ජල සාම්පල රැගෙන පරීක්ෂණ සඳහා යොදවා ඇති බවත්ය. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනයට එරහිව වැලිගම පොලීසියේ පැමිණිලි කළ බවත්, පරීක්ෂණ නිලධාරීන්ගේ වාර්තාව හෙට (28) වන විට ලැබෙන බවත්, ඒ අනුව මෙම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
මෙම හෝටලයේ අපද්‍රව්‍ය මුහුදට යැවීම සඳහා සකසා ඇති කානුව සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින අතර, මෙවැනි ආයතනවලට අවශ්‍ය පාරිසරික අවසර ලබා දීමේදී ඒ ඒ ආයතන නිසි පරිදි ක්‍රියා කරන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ