ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක් ඇතුළත්ව සිටින අතර, එය ක්‍රිකට් ක්‍රීඩා කරන රටකින් ලෝක ක්‍රිකට් පිලට ඇතුළත්වූ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් වීම විශේෂත්වයකි. අවසන් වරට එක්දින ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවෙන් හා අනුශූරයන් වූ ඉන්දියාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව නොතිබීම කැපී පෙනේ.
අයිසීසී ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක නම් කර ඇති අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මේ සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම් කර ඇත. අංක 4 පිතිකරු ලෙස හා නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස්, තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අංක 8 ස්ථානයට ලෝක ක්‍රිකට් පිලට නම් කර ඇත.
ඇෆ්ගනිස්තානයෙන් හා පාකිස්තානයෙන් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් එක්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් පිලෙන් ද ක්‍රීඩකයකු තෝරා ගෙන තිබේ.
චරිත් අසලංක ගෙවී ගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 16කදී ලකුණු 605ක් වාර්තා කළ අතර, සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 101ක් එක් කළේය. ශතකයක් හා අර්ධ ශතක 4ක් ලබාගත් ඔහුගේ ලකුණු සාමාන්‍යය 50.2ක් වූ අතර, එය ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සැලකිය යුතු දක්ෂතාවකි.
කුසල් මෙන්ඩිස් 2024 වර්ෂයේදී එක්දින ජාත්‍යන්තර තරග 17කදී ලකුණු 742ක් වාර්තා කළ අතර වැඩිම ලකුණු ගණන නවසීලන්තයට එරෙහිව ලකුණු 143කි. ශතකයක් හා අර්ධ ශතක 6ක් ලැබූ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු සාමාන්‍යය 53කි. එක්දින තරග ඉතිහාසයේ කඩුලු රකින්නකු රැස් කළ 27 වන ඉහළම ලකුණු සංඛ්‍යාව කුසල් ලබා ඇත.
පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර තරග 12කදී ලකුණු 694ක් ලබා ඇති අතර, ගෙවීගිය වසරේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී වාර්තාගත ලකුණු 210ක් එක් කළේය. ඇෆ්ගනිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ශතක ලබාගත් අතර, ඉන්දියාවට හා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අර්ධ ශතක 2ක් වාර්තා කළ පැතුම්ගේ ලකුණු සාමාන්‍යය 63.1කි.
වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 10කදී කඩුලු 26ක් ලබා පන්දු යැවීමේ සාමාන්‍යය 15.6ක් රඳවා ගත්‍තේය. පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව හසරංග ලකුණු 19කට කඩුලු 7ක් දවාගෙන එක්දින ඉතිහාසයේ ඉනිමක පස්වන හොඳම පන්දු යැවීම සටහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම: චරිත් අසලංක (නායක), සයිම් අයුබ් (පාකිස්තානය), රහ්මානුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව), පැතුම් නිශ්ශංක (ශ්‍රී ලංකාව), ෂර්ෆේන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්), අස්මතුල්ලා ඕමාර්සායි (ඇෆ්ගනිස්තානය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), ෂහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය), හරිස් රවුෆ් (පාකිස්තානය), ඒ.එම්. ගසන්ෆාර් (ඇෆ්ගනිස්තානය).
කමිඳු-චමරි ලෝක පිලට
ගෙවීගිය වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර ඇති අතර, ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 නායිකා චමරි අතපත්තු ඇතුළත් වේ.
ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් වන අතර, චමරි කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ද වේ.
ප්‍රින්ස් ගුණසේකර