මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී පදක්කම් 3ක් දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් විය. ඊට පිරිමි සහ කාන්තා රිදී පදක්කම් සමඟ කාන්තා ලෝකඩ පදක්කම ද ඇතුළත් විය.
රටවල් 6ක කණ්ඩායම් 18ක සහභාගිත්වයෙන් මීගමුව වෙරළ උද්‍යානයේ පැවති තරගාවලියේ පිරිමි අංශයේ රන් පදක්කම ඉරාන ක්‍රීඩකයන් දිනාගත් අතර, කාන්තා රන් පදක්කම කසකස්තාන ක්‍රීඩිකාවෝ සතු වූහ.
මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් 3 බැගින් එක් වූ අතර, පිරිමි අවසන් තරගයට ශ්‍රී ලංකාවෙන් ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ දිලීප චාමික සේනාරත්න සහ මලිත් දිල්ෂාන් සිල්වා සුදුසුකම් ලැබීය. ඉරානයේ අමිර් අලි ගලේනොවි සහ අබොල්හසන් සමඟ පැවති එම තරගයෙන් වට 2-0ක ජයක් ඉරානයට හිමි විය. එහි ලකුණු තත්ත්වය වූයේ 21-13ක් සහ 21-13ක් ලෙසිනි. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් කසකස්තානය සමඟ තරග වැදුණු සඳුන් මදුශංක සහ අංජන සන්දීපණ (‘බී’ කණ්ඩායම) වට 2-1ක් ලෙස (20-22, 21-18 හා 15-10) පරාජය වීමෙන් සිව්වැනි ස්ථානයට පත් විය. ශ්‍රී ලංකා ‘සී’ කණ්ඩායම නියෝජනය කළ නලින් පෙරේරා සහ මදූෂ වික්‍රමසිංහට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යෑමට නොහැකි විය.
කාන්තා අවසන් තරගයට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා වට 2-0කින් (21-11 හා 21-17) පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට කසකස්තානයේ කබුල්බෙකෝවා සහ ඉවන්චෙන්කෝ සමත් වූහ. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකක් තරග වැදුණු අතර, එහිදී වාසනා මධුමාලි සහ කසුනි කේෂලා (‘සී’ කණ්ඩායම) වට 2-0කින් (21-15 හා 21-19) පරාජය කිරීමට ‘බී’ කණ්ඩායම නියෝජනය කළ ෂෙහානි අසංගා සහ චතුරිකා මදුෂානි සමත් වූහ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති මොහොමඩ් ලතීෆ්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ජාතික ඔලිම්පික් කමිටු උපසභාපති කංචන ජයරත්න, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහලේකම් ඒ.එස්. නාලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නිරෝෂාන් ප්‍රියංකර