කාලය රන් හා සමානයි යන කියමන අප කාහටත් සුපුරුදු කියමනකි. ඉන් පැහැදිලි කරනු ලබන අරුත නම්, කාලය යනු මිනිසාට අත්‍යවශ්‍යම හා ඉතාමත් වටිනා දෙයක් යන්නය. අන් සියලුම දේවල් ලබා ගැනීමට නම් ඒ සඳහා අපට කාලය වැදගත් වේ. කාලය මඟහැරුණහොත් කොතරම් වටිනා වැදගත් දෙයක් වුවද අපට මඟ හැරෙන්නට පුළුවන. ඒ නිසාම කාලය ගණනය කරන්නටත්, කළමනාකරණය කරන්නටත් ඈත අතීතයේ සිටම මහත් උනන්දුවක් දක්වා තිබේ. කාලය පිළිබඳව කතා කරන විට අමතක කළ නොහැකිම දෙයකි, ඔරලෝසුව.
ඔරලෝසුව යනු නිවෙසකට නැතිවම බැරි අංගයකි. වේලාව බලා ගන්න බිත්තියේ රඳවන ඔරලෝසුව නිවෙසට අලංකාරයක්, ආලෝකයක් ගෙන දිය හැකි ලෙස නිර්මාණය වී තිබුණොත් එහි වටිනාකම වැඩිය. ඒ අනුව සිටුවා තැබිය හැකි දැවයෙන් නිර්මාණය කරන ලද පැරණි පන්නයේ ඔරලෝසු එනම් Grand Father Clock නිෂ්පාදනය කරන දිරිය මහත්මයෙකු අපට අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හමුවිය. ඔහු නමින් ආසිරි ස්වර්ණතිලක ය.
“මම වෘත්තිමය වශයෙන් ඔරලෝසු තාක්ෂණ ශිල්පියෙක්. ඔරලොසු අලුත්වැඩියාව තමයි මම සිදු කළේ. මට ඒ සම්බන්ධව අවුරුදු 20ට වැඩි පළපුරුද්දක් තිබෙනවා. 2020 ඇතිවූ කොරෝනා වසංගතයෙන් පසුව මට රැකියා අවස්ථා අහිමි වුණා. මම ආර්ථික වශයෙන් ගොඩාක් අමාරු තත්වයකට වැටුණා. ඒ දවල්වල තමයි මේ ඔරලෝසු නිෂ්පාදනය පිළිබඳ අදහස මගේ හිතට ආවේ.”
කොවිඩ් වසංගතයෙන් ලෝකයේම ආර්ථිකය පහත වැටුණු අවස්ථාවක අපේ රටෙත් ආර්ථිකය පහත වැටුණි. විශේෂයෙන් කර්මාන්තකරුවන්ට එම දුෂ්කර කාලසීමාව ප්‍රබල ලෙස බලපෑම් කළේය. එදා ඔරලෝසු අලුත්වැඩියා කළ ආසිරි ස්වර්ණතිලක මහතා ඔරලෝසු නිෂ්පාදකයෙකු ලෙස වෘත්තිය දිවිය තුළ ඔසවා තබන්නේ ද මෙම බලපෑමය.
“ඒත් මට ඔරලෝසු නිෂ්පාදනය ගැන අදහස තිබුණත් එය ආරම්භ කිරීමට මූල්‍යමය හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මම ස්වෝත්සාහයෙන් මුදල් හොයාගෙන තමයි ඔරලෝසුවක් නිෂ්පාදනයට පළමු පියවර තබන්නේ. මුලින් ගැනුම්කරුවන් හිටියේ නැහැ. කොහොම හරි ඒ හදපු ඔරලෝසුව හදලා මම මුදලට විකිණුවා. ඉන්පස්සේ මගේ හිතමිතුරන් මාර්ගයෙන් විවිධ පුද්ගලයන්ට මේ ගැන ආරංචි වෙලා ඔරලෝසු හදන්න ඇණවුම් ලැබුණා.”
“පිටරටින් මෙරටට ගෙන්වන Grand Father වර්ගයේ ඔරලෝසු නිෂ්පාදනය කරලා තිබෙන්නේ එම්ඩීඑෆ් බෝඩ්, ප්ලයිවුඩ් බෝඩ් වැනි ද්‍රව්‍යවලින්. ඒවා කල්පවතින්නේ නැහැ. අවුරුදු 4ක් 5ක් තමයි උපරිම කාලය. ලංකාවේ ගැනුම්කරුවන් ඒ බෝඩ් ආකෘති ඔරලෝසුවලට දක්වන කැමැත්ත අඩුයි. මම ඔරලෝසු නිෂ්පාදනය සඳහා තෝරා ගත්තේ පදම් කළ තේක්ක, මහෝගනී, නැදුන් හා කොලොන් වැනි ලංකාවේ හොඳ යැයි පිළිගැනීමක් ඇති දැව වර්ගයි. පදම් කළ දැව නිසා ඒවා කල් පැවැත්ම වැඩියි. අවුරුදු 50කට වැඩි කාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.”
ආසිරි ස්වර්ණතිලක මහතාට ඔහුගේ නිෂ්පාදනවල සාර්ථකත්වය වෙනුවෙන් 2024 වර්ෂයේ දී පිනැකල් සම්මානය හිමි විය. මීට අමතරව 2024 වසරේ හොඳම ඔරලෝසු නිෂ්පාදන ව්‍යවසායකයාට හිමි සම්මානය ද, ව්‍යවසායකත්ව හා මානව සබඳතා සංවර්ධන පදනම මඟින් පුදනු ලබන ව්‍යවසායක අභිමානි ශ්‍රී ජනරංජන ගෞරව නාම සම්මානය ද හිමි වී ඇත.
“ඔරලෝසුව සඳහා ආකෘති සැලැස්ම ගැනුම්කරුගේ අවශ්‍යතාව පරිදි හදන්නේ මම යි. ඒ වගේම තමයි ඔරලෝසුවට සවි කරන මැෂිම, වීල් රෝද, වයින් ඒ සියල්ලම 100% ක්ම පිත්තල. ඔරලෝසු මැෂිමට අදාළව 10%ක පමණ කොටසක් පිටරටින් ගෙන්වනවා. එහෙම ගෙන්වන බඩු එකලස් කරලා මැෂිමේ වැඩ කොටස සම්පූර්ණ කරනවා. මෙහෙම නිපදවන ඔරලෝසුවක් අවුරුදු 50කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එකවර සම්පූර්ණ වශයෙන් වයින් කරලා මාසයක කාලයක් වගේ ඔරලෝසුව ක්‍රියාත්මක කරවන්න පුළුවන්.”
නිවෙසක විසිත්ත කාමරයේ හිස් තැනකට අලංකාර පෙනුමක් ගෙන දෙන මේ නවතම මාදිලියේ ඔරලෝසුව නිවෙසට මනා ආලෝකයක් ද ගෙන දේ.
“පහුගිය කාලයේ පිටරට ඇණවුමක් ආවා. ඩුබායිවලින් තමයි ඇණවුම ආවේ. ඒ නිසා අපනයනය කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි දැන් ඔන්ලයින් බිස්නස් වඩාත් ජනප්‍රිය නිසා මේ ඔරලෝසු නිවෙසටම ගෙන්වා ගන්නත් ප්‍රවාහන පහසුකම් අපි සපයලා තියෙනවා.”
“දැනට සෘජු හා වක්‍ර ලෙස සේවකයන් 50 දෙනෙකු පමණ මගේ ළඟ සේවය කරනවා. මගේ අදහසකින් මේ කර්මාන්තය පටන් ගෙන, රැකියා අවස්ථා නිර්මාණය වෙලා, ඒ සේවකයන්ගේ දරුපවුල් ජීවත් වෙනවා. මේ ගැන මට තිබෙන්නේ නිහතමානි සතුටක්.”
එම්. තාරික්