Tuesday, May 6, 2025
Home » බිරිය සහ දරු දෙදෙනා ගෙදරින් යවා රත්රන් සෙවූ පියා පොලිස් භාරයට

බිරිය සහ දරු දෙදෙනා ගෙදරින් යවා රත්රන් සෙවූ පියා පොලිස් භාරයට

-සාලයේ අඩි 18ක් යටට කැණීම් කරලා ශබ්දය පිටතට ඇසෙනවාට බෆල් එකකින් පිරිත් දාලා

by sachintha
January 28, 2025 1:32 am 0 comment

 

අංජනම් එළියකින් පැවසූ රත්රන් සොයා නි‍ෙවසේ කැණීම් කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු කැණීම් කරමින් සිටියදීම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා ඒ වන විට නි‍ෙවසේ සාලයේ අඩි 18ක ප්‍රමාණයක් යටට කැණීම් කර තිබූ බවත් ඒ සඳහා යොදාගත් උදලු, සවල්, යකඩ ඉනි, ගල් විදීමට යොදාගත් ඩ්‍රිල් මැෂිමක්, කපන කටු, කඩුවක්, පිහියක් මෙන්ම මල් පහන් ඇතුළු සුවඳ දුම් පොලිස් භාරයට ගත් බවත් පොලීසිය කියයි.

කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ නිවෙසක පුද්ගලයකු සිය බිරිය සහ දරුවන් නි‍ෙවසින් පලවා හැර වෙළෙඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකුගේ සහායෙන් නි‍ෙවසේ නිධානයක් සොයා කැණීම් කරන බවත්, කැණීම් ශබ්දය පිටතට නොඇසෙන ලෙස බෆල් යන්ත්‍රයක් ආධාරයෙන් පිරිත් යොදා ඇති බවත් කහතුඩුව පොලීසියට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

පොලිස් නිලධාරින් එම ස්ථානය වටලන අවස්ථාවේදීත් සැකකරුවන් දෙදෙනා කැණීම් කටයුතු විදුලි ආලෝකය මධ්‍යයේ සිදු කරමින් සිටි බවත්, භූගතව අඩි 18ක පමණ ප්‍රමාණයක කළුගල පෑදී ඇති බැවින් එය පිපිරවීමට රසදිය යොදා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී වසර පහළොවකට පමණ ඉහතදී මේ ඉඩම මිලදී ගෙන නි‍ෙවස සෑදීමට භූමිය සකස් කිරීමට පස් ඉවත් කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයා එයින් වසර කිහිපයකට පසු මේ භූමියේ තිබී රත්රන් හමු වූ බවට සැකකරුට ප්‍රකාශ කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඒ පිළිබඳ සැකකරුට ආශාවක් ඇතිවී මාතලේ ප්‍රදේශයේ අංජනම් එළි බලන කපුවෙකු කැඳවාගෙන පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේදී ඔහුගේ මඟ පෙන්වීම මත නි‍ෙවසේ දෙවන කොටසේ උළුවස්ස අසල කැණීම් කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව මීට සති තුනකට පමණ ඉහතදී සිට පුද පූජා පවත්වා දිවා රාත්‍රී දෙකෙහිදීම කැණීම් කටයුතු කළ බවත් සැකකරු අනාවරණය කළ බව පොලීසිය කියයි.

එහි ශබ්දය පිටතට නොඇසීමට සහ රත්රන් නිධානය ඉක්මනින් ලැබීමට නිරතුරුව පිරිත් දේශනා ශබ්දය ඇසීමට සලස්වන ලෙස අංජනම් එළිබැලීමට පැමිණි කපුවා විසින් උපදෙස් ලබා දුන් බවත් සැකකරු පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් පවසා ඇත.

වයස අවුරුදු 51 සහ 54 හැවිරිදි සැකකරුවන් දෙදෙනා පුරාවස්තු වටිනාකමක් ඇති ඉඩමක නීති විරෝධී ලෙස අනවසරයෙන් කැණීම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන (18808) සේනාධීර, (89967) සංජීව, පොලිස් කොස්තාපල්වරුන් වන (93586) දිල්ෂාන්, (78650) පුෂ්පකුමාර, (104335) ශ්‍රීමල්, (104068) වර්ණකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (11171) අන්ජලිකා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

 

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT