Home » මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසල් දෙකක් මැද පිහිටි අපිරිසුදු හෝටලයක් 31 දක්වා වසා තබන්න නියෝග

මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසල් දෙකක් මැද පිහිටි අපිරිසුදු හෝටලයක් 31 දක්වා වසා තබන්න නියෝග

by sachintha
January 28, 2025 1:35 am 0 comment

මිනුවන්ගොඩ නගරය මධ්‍යයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් අසල අපිරිසිදු ලෙස හා සෞඛ්‍යයට අහිතකර වන අයුරින් පවත්වාගෙන ගිය හෝටලයක් මෙම මස 31 දක්වා වසා තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය.

ඊට අමතරව හෝටලයේ හිමිකරු හට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය හෝටලය තුළ පවතින සියලුම අඩුපාඩු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් පරිදි නිවැරැදි කර මෙම මස 31 වන දින අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කළාය.

අධිකරණය මඟින් මෙම නියෝගයන් කරනු ලැබුවේ මිනුවන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් ආසන්නයේ පවත්වාගෙන ගිය පෞද්ගලික හෝටලයක හිමිකරුටය.

මිනුවන්ගොඩ නගරයේ හෝටල් පරීක්ෂා කිරීමේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම හෝටලයට ගොස් එය පරීක්ෂා කිරීමේදී එහි සේවය කළ සේවකයන් වෛද්‍ය සහතික ලබාගෙන නොතිබුණු බවත් ඔවුන් අත්, හිස්, මුව ආවරණ නොමැතිව ආහාරපාන පරිහරණය කරමින් සිටි බවත් හෝටලය තුළ පූසන් වැනි සුරතල් සතුන් ඇති කිරීම හා ආහාරපාන මැස්සන්ට සහ දූවිලිවලට නිරාවරණය වන අයුරින් විවෘතව තබා තිබීම මෙන්ම කසළ බඳුන්වල ආරක්ෂිත පියන් විවෘත කර තිබූ බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් මිනුවන්ගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විමුක්ති ලක්නුවන් මහතා අධිකරණයට පැවසීය.

මිනුවන්ගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විමුක්ති ලක්නුවන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.එම්.වී. ගම්ලත් යන නිලධාරීන් විසින් මෙම හෝටලය සෝදිසි කිරීමෙන් පසුව එහි හිමිකරු හට නඩු පවරා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

මිනුවන්ගොඩ සමූහ – ටෙඩී කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT