Home » පොල් අර්බුදය විසඳීමට රජය මැදිහත් විය යුතුයි

පොල් අර්බුදය විසඳීමට රජය මැදිහත් විය යුතුයි

-ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

by sachintha
January 29, 2025 2:41 am 0 comment

වාර්ෂික ජාතික පොල් නිෂ්පාදනය

වසර පොල් (මිලියන)

2021 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය 3,380

2022 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය 3,350

2023 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය 2,950

2024 (පුරෝකථනය) 2,684

2025 (ජනවාරි සිට ජූනි දක්වා පුරෝකථනය) 1407

අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයන පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද සඳහන් කළ හැකිය.වර්තමානයේ මෙරට මාසික පොල් අවශ්‍යතාව මිලියන 250ක් පමණ වේ. ඉන් මිලියන 150ක් දේශීයව පරිභෝජනය කරන අතර අනෙක් මිලියන 100 යොදා ගන්නේ අපනයනය වෙනුවෙනි.

පොල් පර්යේෂණය ආයතනය මඟින් ඉදිරිපත් කළ දත්තවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මෙරට පොල් අස්වැන්නෙහි අඩුවීම මිලියන 700කට වැඩිය. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ පුරෝකථනය කර ඇති පොල් ප්‍රමාණය මිලියන 200ක් පමණ වේ. මෙම හිඟය හේතුවෙන් දැනටමත් මිල ඉහළ යාම, ගෘහ වියදම් ඉහළ යාම හා අපනයන අමුද්‍රව්‍ය සැපයීමේ දුෂ්කරතාවලට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙමින් සිටියි.

2023 වසරේදී පොල් නිෂ්පාදන අපනයනය තුළින් ඩොලර් මිලියන 708 උපයා ඇති අතර 2024 වසරේ නොවැම්බර් වන විට උපයා ඇති මුදල ඩොලර් මිලියන 782කි. එය පෙර වසරට සාපේක්ෂව 20%ක ඉහළ යාමකි. මේ වසරේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 850ක් වනු ඇති බවට තක්සේරු කර ඇති අතර ඒ තුළින් වාර්ෂික වර්ධනයක් සනිටුහන් කරමින් 17%ක ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව උදා වනු ඇත. මෙම වාර්ෂික වර්ධනය තුළින් මනාව ප්‍රදර්ශනය කරනු ලබන්නේ පොල් සතු ආර්ථික හැකියාව හා ජීවනෝපායන් ආරක්ෂා කර ගැනීමේ තීරණාත්මක අවශ්‍යතාවයි.

ඍජු රැකියා අවස්ථා 75,000කට අධික ප්‍රමාණයක් සැපයීමට සමත්ව ඇති පොල් කර්මාන්තය තවත් ලක්ෂ 5කට පමණ වක්‍ර රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ජීවනාලිය බවට පත් වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා සඳහන් කර සිටියේ “වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින පොල් හිඟය හේතුවෙන් ගෘහස්ථ පරිභෝජනය මෙන්ම අපනයන කර්මාන්තය අර්බුදයකට ලක් කර තිබෙනවා. මේ හේතුවෙන් ක්ෂණික හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් නොමැතිව ගෝලීය වෙළෙඳපොල තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය පහත වැටීමේ අවදානමක් පවතිනවා. දහස් ගණනකගේ ජීවනෝපායන්ට තර්ජනයක් වන එය ශ්‍රී ලාංකිකයින්ගේ දෙවැනි බත පහසු මිලකට ලබා ගැනීම දුෂ්කරතාවට ලක් කර තිබෙනවා” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT