Sunday, May 11, 2025
Home » කා සමඟත් හොඳින් සිටි මහත්තයාට මෙහෙම වෙයි කියා හිතාගන්න බෑ
බැංකු කළමනාකරුගේ මරණ පරීක්ෂණය:

කා සමඟත් හොඳින් සිටි මහත්තයාට මෙහෙම වෙයි කියා හිතාගන්න බෑ

-බිරිය සාක්කි දෙයි

by sachintha
January 29, 2025 2:48 am 0 comment

 

“මහත්තයා අපිව හොඳින් බලාගත්තා. එයා ගොඩක් හොඳ කෙනෙක්. එයාට යාළුවෝ ගොඩක් හිටියා. එයා ඒ හැම යාළුවකුගේම හැමදේකටම යන කෙනක්. එච්චර හොඳ එයාට මෙහෙම දෙයක් වෙයි කියා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ” යැයි බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලමෙන් මෝටර් රථයක් ඇළට පෙරළීමෙන් මියගිය මහජන බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ කළමනාකරුගේ බිරිය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවැසුවාය.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අයි.ජී.ඩී.එස්. කුමාර (44) නමැති ඇල්පිටිය ශාඛාවේ කළමනාකරුය. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් මියගිය අයගේ බිරිය වන සුමාලි මදුශානි මුතුකුමාරණ (44) මහත්මිය මෙසේ ද කීවාය.

‘‘මියගොස් සිටින්නේ මගේ සැමියා. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. මගේ මහත්තයා ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකාරවරයා ලෙස සේවය කළා. නාගොඩ පොලීසියෙන් මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ඔයාගේ මහත්තයාට අනතුරක් වෙලා කියලා, ඒ නිසා නාගොඩ පොලීසියට හරි නාගොඩ රෝහලට හරි එන්න කියලා. මම ඉක්මනින් නාගොඩ රෝහලට ගියා. ඒ වෙලාවේ මම දැක්කා මගේ සැමියාගේ දේහය ට්‍රොලියක් මත ලේ ගලමින් තිබුණා. සැමියාගේ වියෝව මට දරාගන්න බැහැ. අපි තුන්දෙනාම මහත්තයා හොඳින් රැකබලා ගත්තා. එයාට ගොඩාක් යාළුවෝ හිටියා. එයා ඒ යාළුවන්ගේ හැමදේකටම සහභාගි වුණා. මෙහෙම දෙයක් වේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. සිද්ධිය වුණු දා හවස එයා අපේ පුතාට දුරකතන ඇමතුමක් දීලා කතා කර තිබුණා. මේ මරණය ගැන මට සැකයක් නැහැ. අනතුරකින් වූ මරණයක් බව මම හිතනවා.”

මියිගිය අයගේ මාමණ්ඩිය වන තිස්සමහාරාම, ගැමුණුපුර පදිංචි ගාමිණි පුෂ්ප කුමාර මහතා මෙසේ පැවසීය. ‘මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුව තමයි මේ පුතා බැඳල ඉන්නේ. රට ගිහින් වසර ගාණක් හිටියා. ඒ ආවාට පස්සෙ මේ ඉඩම අරගෙන ගේ හදලා පදිංචි වුණේ. ගිය සතියේ පුතාලා අපේ ගෙදර ආවා. දුවයි දරුවො දෙන්න සමඟ ඇවිත් එයාලා නතර කර යාළුවකුගේ දානේ ගෙයක යන්න ඕනෑ කියා බස් එකේ ගිහින් ආවා. ඇවිත් පසුදා දුවයි දරුවොත් සමඟ ගියා.”

මේ මරණ පරීක්ෂණය නාගොඩ හදිසි මරණ පරීක්ෂක කේ.එච්. හේමානන්ද මහතා ඉදිරියේ පැවැත්විණි. ‘ප්‍රධාන මාර්ගයක් වන බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලමට ආරක්ෂිත ඇන්දක් සවිකර තිබුණා නම් මෙවැනි අවාසනාවන්ත මරණයක් නොවන්න තිබුණා යනුවෙන් එහිදී මරණ පරීක්ෂක කේ.එච්. හේමානන්ද මහතා පැවසීය.

බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලම මතින් මෝටර් රථය ඇළට පෙරළීමෙන් එම රථය පැදවූ මහජන බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ කළමනාකාර අයි.ජී.ඩී.එස්. කුමාර මහතා (44) පසුගිය 26 වැනිදා මියගියේය.

මේ මාරක රිය අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇත්තේ අයි.ජී.ඩී.එස්. කුමාර මහතා පමණි. ඔහු බද්දේගම ගනේගම උතුර පදිංචිකරුවෙකි. මහජන බැංකුව තල්ගස්වල ශාඛාවේ රාජකාරි කටයුත්තක නියැළී සිට සිය මෝටර් රථයෙන් පෙරළා නිවෙස බලා එමින් සිටි අතරමඟ රථය පාලමේ ඇන්දක් කඩාගෙන ඇළට පෙරළීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. කලක් මහජන බැංකුවේ විදේශීය නියෝජිතයකුද ලෙස එතෙර සේවය කිරීමෙන් අනතුරුව මෑතකදී මෙරටට පැමිණ ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු ලෙස සේවයට එක්වූ කුමාර මහතා දෙදරු පියෙකි. ප්‍රදේශයේ සැමදෙනාගේ ගෞරවාදරයට පාත්‍රව සිටි හෙතෙම නිහතමානී, මිත්‍රශීලි බැංකු නිලධාරියෙක් ලෙස ප්‍රකටය. ඒ මහතා බැංකු ක්ෂේත්‍රයේ කා අතරත් නමක් දිනා සිටි දක්ෂ නිලධාරියෙකි.

මේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරාපිටිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය ශෂිණි නිරුදිකා මහත්මිය විසින් පවත්වන ලදි.

මේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදෙමින් පෙණහලු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස නිලධාරින් දැනුම්වත් කර මෙය දියේ ගිලීමෙන් වූ මරණයක් ලෙස තීරණය කෙරිණි.

නාගොඩ පොලිස් ස්ථනාධිපති ඩබ්ලිව් වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, පොලිස් සැරයන් වසන්තලාල්, පොලිස් සැරයන් (11622) කුලතුංග නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. දේහය පිළිබඳ අවසන් කටයුතු මිරිස්වත්ත, ඇත්කඳුර පවුලේ සුසාන භූමියේදී ඊයේ (28) පස්වරුවේ සිදු කෙරිණි.

හිනිදුම රවීන්ද්‍ර ලියනගේ සහ බද්දේගම මධ්‍යම විශේෂ ජස්ටින් පතිරගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT