වරායේදී අපි බහලුම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් මේවා වරායට එන්නේ අයිතිකාරයෙක් නැතිව බවත් ඒවා විවෘත කළ විට ප්‍රසිද්ධ සමාගමක බ්‍රෑන්ඩ් නේම් එක තිබූ බවත් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පෙරේදා (28) පැවති ‘2025 ආර්ථික සමුළුව’ අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“මෙතැන ප්‍රශ්නයක් නැද්ද? රේගුව එක් අතක්. අනික් අත කවුද?”.
අපේ රටේ දේශපාලන අධිකාරිය ගැන කුමන වර්ගයේ හෝ විවේචන තිබෙන්න ඇති. අපි ඒ විවේචනවලට අහු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි දේශපාලන වෙනසකින් පමණක් මේ පරිවර්තනය කර ගන්න බැරි බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනවිත් තිබෙනවා. නමුත් ඔබ තුළ පරිවර්තනය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ.
රාජ්‍ය අය වැයට විශාල වැය බරක්ව තිබෙන ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ ආයතන ඒකාබද්ධ කර හෝල්ඩින් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි දැයි අධ්‍යයනය කරමින් සිටිනවා.
විශේෂයෙන් සංස්ථා සහ මණ්ඩල පිළිබඳව අපි අලුතින් හිතන්න සූදානම්. ආණ්ඩුව සතු ඉදිකිරීම් ආයතන රැසක් තිබනවා. නමුත් දැන් රජයට පරිබාහිරව පෞද්ගලික අංශයේ ඉතා ශක්තිමත් නිපුණතාවක් සහිත ඉදිකිරීම් සමාගම් රැසක් තිබෙනවා. අපි නැවත කල්පනා කරනවා රජයේ ඉදිකිරීම් සමාගම් පවත්වාගෙන යා යුතුද කියලා. ඒ නිසා ඇතැම් ඉදිකිරීම් ආයතන අපට වසා දැමීමට වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විෂය පථය වෙනස් කරන්න වෙයි.”
පැවැති ආණ්ඩුකරණයන්ගේ අසමත් වීමත් ආයෝජන මණ්ඩලයේ අකාර්යක්ෂමතාවත් මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී බලපා තිබෙන බව කී ජනාධිපතිවරයා, මේ නිසා මෙවැනි ආයතනවලට නව ව්‍යුහයක් හඳුන්වා දිය යුතු බවද පැවැසීය.