රටතුළ පවතින සහල් හිඟයට වැඩි වශයෙන් බලපා ඇත්තේ පසුගිය වසරේ වී නිෂ්පාදනයේ අඩුවක් සිදුවීම බවට සඳහන් කළේ අත්වැරදීමකින් බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කරමින් ඊට සිය කනගාටුව ප්‍රකාශ කළේය.
මුදල් පිළිබඳ කාරක සභාව පෙරේදා (28) එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වූ අතර එහිදි මෙලෙස කනගාටුව පළකර ඇත.
මුදල් කාරක සභාවේදී සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද එම නිලධාරින් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ නිලධාරීන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- මෙම කමිටුව ක්‍රියාත්මක විය යුත්තේ නීත්‍යනුකූලවයි. වැඩ ඉවර වෙන්න කලින්. සහල් ආනයනය සඳහා ලබාදී තිබු කාලය අවසාන වුණාට පසුවයි මේක මෙතෙන්ට ඇවිත් තිබෙන්නේ.
ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලි ප්‍රේමතිලක මහත්මිය- පනතේ තිබෙන්නේ මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- අවශ්‍ය කටයුතු සිදුකර අවසන් වුණාට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. කාලය ඉවරයි, ජනවාරි 10 වෙනිදා. ඕගොල්ලො මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනවාරි 21. එතකොට මොනවටද පාර්ලිමේන්තුවේ බලය. රබර් සීල් එකක් විතරයි. මේවා විහිළු. සිස්ටම් චේන්ජ් කියන්නේ සියලු දෙනාට මම කියන්නේ. මේවා දිගින් දිගටම වෙන්න බැහැ. මෙතනදි කිව්වා මහකන්නයේදී මෙට්‍රික් ටොන් 4.29ක් වී නිෂ්පාදනය කළා කියලා. අපි මෙතන තර්ක කළා එහෙම වෙන්න බැහැ. මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් හෝ 2.7ක් තමයි නිෂ්පාදනය කළේ කියලා. වී නිෂ්පාදනය පිළිබඳව නිවැරදි දැනුමක් නැත්තම් ඒ හරහා නිෂ්පාදනය වන සහල් පිළිබඳව තර්කානුකූලව දත්ත ඉදිරිපත් කරන්නට බැරිනම් කොහොමද එක පැත්තකින් ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමය තීරණය ගන්නත් අනෙක් පැත්තෙන් කමිටුව නීතිමය වශයෙන් අවසර ලබාදෙන්නේ ආනයන අපනයන පනත හරහා මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා-2024 වසරේ මහකන්නයේ 2.6යි.
හර්ෂ ද සිල්වා මහතා- එහෙමනම් 2024 මහකන්නයේදී 4.29ක් තිබුණා කියලා ඇයි කාරක සභාව හමුවේ සඳහන් කළේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා- ඇත්තටම එය වැරදීමක්. මේ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙය වැරදි ලෙස සන්නිවේදනය වීමක්.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- ඒ ඇති. අපි ඉදිරියට යමු. තෙත වී රුපියල් 95ට රුපියල් සියයටත් ගන්නවා කියලා මම ටී වී එකේ දැක්කා.