අබේපාල මහත්තයා ඇඳේ වැතිරී සිටින ගමන්ම ඔළුව හරවලා පොත් රාක්කය උඩ තියෙන ඔරලෝසුව දෙස බැලුවා.වෙලාව උදේ හයහමාරයි
” නැඟිටින්න තව වෙලාව තිෙයනවා”
ඔහු අනෙත් ඇලයට හැරුණා.
ජනෙල් තිර අතරින් එබෙන උදා හිරු එළිය කවදාවත්ම ඔහුගේ නින්දට බාධාවක් වුණේ නැහැ. පුරුද්දක් විදියට අබේපාල මහත්තයා ඇහැරෙන්නේ හතයි තිහට. ඒ රෑට නිදිවරන නිසා කියලයි ඔහු කියන්නේ.
විශ්‍රාමික දිවියක් ගතකරන අබේපාල මහත්තයට රෑ නිදිවරන්න හේතුවක් නැහැ. ඒ වගේම පාන්දරම නැඟිටින්න හේතුවකුත් නැහැ. රූපවාහිනියේ චැනල් එහාට මෙහාට මාරු කර කර ඉඳලා හොඳටම ඇතිවුණාට පස්සෙයි ඇඳට යන්නේ. ඒත් නින්ද එන්න නම් තවත් බොහෝ වේලා යනවා. ඒ නිසා තමයි අබේපාල මහත්තයයි විශ්‍රාමික ගුරුවරියක් වන සුජාතා නෝනයි නින්ද එනතුරු පොතක් කියවන්නේ. මෙහෙම කියවන අතරේ මුලින්ම නිදිමත හැදෙන කෙනා පොත වහලා පැත්තකින් තියලා නින්දට යනවා.තව විනාඩි දහයක් පහළොවක් කියවන කොට අනෙත් එක්කෙනාටත් ඉබේටම නිදිමත හැදෙනවා.මේ සියලු කටයුතු අවසන් වෙනකොට රෑ දොළහ දොළහමාර විතර වෙලා.
මුලින්ම ඇහැරෙන්නේ රමණි. රමණි තමයි අබේපාල යුවළගේ තනි නොතනියට අත් උදව්වට කඩේ යන්න, බඩු ගේන්න, බත් උයන්න මේ ඔක්කොටම ඉන්නේ පවුලේ කෙනෙක් වගේ. ඉඳලා හිටලා ගෙදර ගියත් පහුවදාම දුවගෙන එනවා.
එදා උදේ හයයි කාලට විතර සුජාතා නැඟිටලා පහළට එනකොටත් රමණි උදේ කෑම හදනවා. සුජාතා තේ හදන්න කේතලයට වතුර පුරවනකොටම තමයි බිංදු ඇවිත් ඇඟේ වෙළුණේ.
” කිරි බඩගිනි වෙලා ද?”
බිංදුගෙන් අහන ගමන් සුජාතා කේතලේ ප්ලග් එක ගැහුවා.
” ගෑසුත් ඉවරයි වගේ නෝනා ”
රමණි කිව්වේ එතකොටමයි.
” කලින් එකක් ගෙනත් තියාගත්ත එක හොඳට ගියා”
එහෙම කියන ගමන්ම රමණි කුස්සිය පිටිපස්සේ තියන පිලට ගියේ ගෑස් සිලින්ඩරය රැගෙන එන්න. උස්සගෙන එන්න බැරිවුණත් ඇදගෙන ඇවිත් ගෑස් එක හයිකරන හැටි රමණි දන්නවා.
” නෝනා නෝනා
ගෑස් සිලින්ඩරය නැහැනේ ”
” ඒ කොහොමද නැතිවෙන්නේ
බලන්න එහාට කරලවත් තියනව ද කියලා ”
සුජාතත් එළියට බැස්සෙ එහෙම කියාගෙන.
දෙන්නම එකතුවෙලා වටපිට හොයා බැලුවත් ගෑස් සිලින්ඩරය පේන්න තිබුණේ නැහැ. දෙන්නගෙම ඇඟට පැන පැන බිංදු කෙඳිරි ගෑවේ කිරි බඩගින්න උත්සන්න වෙලා.
” හරි පුදුමයි.
මහත්තය වෙන කොහෙන් හරි තිබ්බ ද”
දෙන්නම මුළුතැන්ගේ තුළට දුවගෙන ආවේ අබේපාල මහත්තයාවත් ගෑස් සිලින්ඩරය එතුළ තබා ඇත්දැයි බැලීමටයි.
” කුස්සියෙත් නැහැනේ ”
රමණිගේ ඇස් උඩ ගිහින්.
” මොකද වුණේ ”
නැවතත් දෙන්නම ගේ වටේම ගිහින් බැලුවා.
කුස්සියෙත් අස්සක් මුල්ලක් නෑර බැලුවා.
කේතලය මහ හඬින් උතුරනවා. වතුර ටිකත් හිඳෙන්න ගිහින්. සුජාතා දිව්වා ඒක නිවන්න. ඔය කලබලය අස්සේ එහෙ මෙහෙ දුවන බිංදුගේ ඇඟේ හැපිලා සුජාතා නෝනා තව පොඩ්ඩෙන් වැටෙනවා.
” නෝනා ….. පරිස්සමෙන් පැත්තකට වෙනවා බිංදු”
බිංදුට සැර දමන ගමන් රමණි ගබඩා කාමරය ඇරලා බැලුවා.මහත්තයා ඒකටවත් ගෑස් සිලින්ඩරය දාල ද කියල බලන්න. ඒත් ඒකෙත් නැහැ.
” එහෙනම් මොකද වුණේ?”
දෙන්නම දහඅතේ කල්පනා කළා. හැමදාම ගෑස් ඉවර වුණු දිනය ලියාගෙන ඊළඟ මාසෙ ඒ දිනයට සතියකට කලින් අලුත් ගෑස් සිලින්ඩරයක් ගේන එක තමයි අබේපාල මහත්තයගෙ සිරිත. මේ පාරත් ඒ වගේමයි. සිලින්ඩර දෙකක් පාවිච්චි කරන්නේ වැඩි පහසුවට. වයස්ගත තුන්දෙනෙක් ඉන්න ගෙදර කලබලයට ඕවා කරන්න හැටියක් නැහැ.
කිරි පරක්කු වීම සම්බන්ධයෙන් නම් බිංදුගේ ඒ තරම් මනාපයක් තිබුණේ නැහැ. ඒ නිසා ද කොහෙද දැඟලිල්ල නවත්තලා යනඑන පාර මැද්දෙම දිගඇදුණා.
ආයෙමත් නිදාගන්න හැදුවට අබේපාල මහත්තයට නින්ද ගියේ නැහැ. පහත මාලයෙන් නැඟෙන විවිධ ශබ්ද, කතාබහ අනුව ඔහුට දැනුණා යමක් සිදුවී ඇති බව.ඒ නිසාම ඇඳෙන් නැඟිටලා නාන කාමරයට ගියා.
අබේපාල මහත්තයා මුහුණ සෝදන සද්දෙට මුලින්ම උඩට ආවේ බිංදු. ඒ පස්සෙන් සුජාතා නෝනා.
” හරි වැඩේනේ අබේ”
උදේ පාන්දරම කියන්න හදන්නේ මොකක්ද කියන නොරිස්සුමත් එක්ක අබේපාල මහත්තයා සුජාතා ගේ මුහුණ බැලුවා.
” අර එදා ගෙනාව ගෑස් සිලින්ඩරය නැහැනේ”
” ඔය කොහේ හරි ඇති.
රමණිට මතක නැතුව කොහාට හරි අයින් කරලා ඇති ”
අබේපාල මහත්තයා පිළිතුරු දුන්නේ කණ්ණාඩිය දෙස බලාගෙන රැවුල කපන ගමන්.
” මේ මනුස්සයට කිසි කලබලයක් නැහැනේ ”
සුජාතාගේ හිතට ආවේ තරහවක්.
” හැම තැනම බැලුවා. කොහෙවත් නැහැ. ගබඩා කාමරෙත් නැහැ. ඕක ඉතින් හංගන්න පුළුවන් බඩුවක් ද ”
මූණ හෝදගෙන හීන්සීරුවේ පහළට බහින අබේපාල මහත්තයා පිටිපස්සේ සුජාතා නෝනා.ඊට පිටිපස්සෙන් බිංදු.
” පොඩ්ඩක් ඉන්න
තේ එකක් බීලම මම බලන්නම් ”
කියමින් අබේපාල මහත්තයා හාන්සි පුටුවේ වාඩිවුණා.
එතකොට තමයි සුජාතාට මතක් වුණේ තේ හැදුවේ නැති බව.
” ආ…..
මේ කලබල අස්සේ මට තේ හදන්නත් බැරි වුණා
ඉන්න
විනාඩියෙන් හදාගෙන එන්නම්”
අබේපාල මහත්තයගෙ උකුළට නැඟගෙන හිටපු බිංදුත් බිමට බැහැලා සුජාතා පිටිපස්සෙන් මුළුතැන්ගෙය දිහාවට දුවගෙන ගියා.
“බිංදු ඉන්නකොට කොහොමද හොරු එන්නෙ
නේද බිංදු? ”
අබේපාල මහත්තයා දුවන බිංදුගෙන් ඇහුවා.
අබේපාල මහත්තයලා ට දරුවො තුන්දෙනයි.ලොකු දුවයි පුතයි දෙන්නම එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපනයට. ඒත් ඒ දෙන්නම ආපසු ආවේ නැහැ. විවාහ වෙලා දරුවෝ ලබලා එහෙම පදිංචි වුණා. ලංකාවේ ඉන්නේ බාල පුතා අඛිල විතරයි. තවමත් අවිවාහක ඔහු නුවර ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘතියක සේවය කරනවා. නිෙවසට එන්නේ සති දෙක තුනකට සැරයක්. අලුත් දුරකතන සම්බන්ධතා නිසා දරුවන් ඒ තරම් දුර බව නොදැනුණට නිෙවසේ පැවතුණේ දරාගන්න බැරි පාළු ස්වභාවයක්. ඔහොම ඉන්නකොට තමයි අසල්වැසි නිෙවසකින් බිංදුව ලැබුණේ. බිංදු වල් බලු පැටියෙක්. ඒත් තියෙන්නේ මහ ඝාම්භීර කටහඬක්. කට කළු නිසා දැක්ක ගමන්ම අබේපාල මහත්තයගේ හිත ගියා. සුජාතා නෝනයි රමණියි නම් ඔය වැඩි වැඩවලට ඒ තරම් මනාපයක් දැක්වූවේ නැහැ.ළමයි දෙතුන්දෙනෙක් හදලා පාසලෙත් ළමුන් දහස් ගණනක් එක්ක ඔට්ටු වෙලා හිටපු සුජාතා නෝනාට නම් මේ බලු පැටියව ඇල්ලුවේ නැහැ.
” මොන කරදරයක් ද හිතපු වෙලාවට වහලා දාලා ගමනක් බිමනක්වත් යන්න බැහැනේ බල්ලෙක්, ගෙදර ඉන්නකොට ”
ආයෙමත් එංගලන්තය පැත්තේ ගිහින් මාස දෙක තුනක් ඉඳලා එන්න හිතේ තියාගෙන හිටපු සුජාතා තම අප්‍රසාදය කියාපෑවා.
ඒත් අබේපාල මහත්තය නම් හිටියේ පුදුමාකාර සතුටකින්.කුඩා කල පටන්ම බලු පැටවුන්ට ආදරය කළ ඔහුට විවාහයෙන් පසුව බලු පැටියකු ඇතිකරන්න අවස්ථාව උදා වුණේ නැහැ. ඒ සුජාතාගේ අකැමැත්ත නිසා.
” පොඩි දරුවෝ ඉන්න ගෙදර බල්ලොත් හදන්න බැහැ ”
ඒ මාතෘකාව ආපු හැම වෙලාවකම සුජාතා කිව්වේ ඒක.
නමුත් දරුවන් තිදෙනාම නිෙවසෙන් පිටවෙලා ඉන්න පසුබිමක මෙවරනම් සුජාතා ගේ විරෝධය ඒතරම් ප්‍රබල වුණේ නැහැ. මුලින් මුලින් නෝනාගේ පැත්තටම කතාකරමින් හිටි රමණි කන්න දෙනවට අමතරව හොරෙන් හොරෙන් බිංදුව හුරතල් කරන්නත් පටන් ගත්තේ වැඩි දවසක් නොයාමයි. වැඩි ඇයිහොඳයියක් නැති වුණත් උදේට බිංදුට කිරි කෝප්පයක් හදල දෙන එක නම් සුජාතා නෝනා මුල ඉඳලම කළා
” මොනව වුණත් පොඩි දරුවෙක්නේ”
ඇය ඒ වෙලාවට කිව්වේ එහෙමයි. ඒත් දැන් බිංදුට අවුරුදු දෙකත් ඉවරයි. ඒත් උදේට කිරි එක වරදින්නේ නැහැ.
බිංදු වැඩුණේ හොඳ සැර බල්ලෙක් විදියට. නිෙවසේ හතරදෙනා හැර වෙන කාටවත් බිංදු මෙල්ල නැහැ. බිංදුගේ මේ ක්‍රියාකලාපය නිසා ගෙදරට කවුරු හරි එනවා නම් බිංදුට ඉන්න සිද්ධ වුණේ කූඩුව ඇතුළේ. මේක සුජාතා ගේ නොරිස්සුමට හේතුවුණා. නොරිස්සුම වැඩි වුණේ පැටියා කාලෙදිම ගෙදරට ආපු සුජාතාගේ නංගිගේ කකුල හපපු දවසේ.
එදා ඉඳලම කවුරුවත් එන්නේ නැහැ බිංදු එළියෙ ඉන්නවා නම්. දුරකතන ඇමතුමක් දීලම එන්න හැමෝම පුරුදු වුණා. අහල පහළ කෙනෙක් ආවෙත් බිංදුව කූඩුවට දාන්න කියලා ඇමතුමක් දීලයි. මේ විදියට බිංදු, නම් දරාපු දරුණු චණ්ඩියෙක් වුණත් අබේපාල මහත්තයා ළඟ නම් කීකරු දරුවෙක් වගෙයි. අබේපාල මහත්තයට විතරක් නෙවෙයි සුජාතාට, රමණිට වගේම පොඩි පුතා අඛිලටත් බිංදු කීකරුයි.ඒවගේම ආදරෙයි. වයසක තුන්දෙනෙක් ඉන්න නිෙවසේ ආරක්ෂාව පිළිබඳව අඛිල වධ වුණා. ඒ නිසාමයි බිංදුගෙන් සෑහීමට පත්නොවී නවීන කැමරා පද්ධතියකුත් සවිකළේ.අඩි හයකටත් වඩා උස තාප්පයකින් වටවුණු දෙමහල් නිෙවසට අනවසරයෙන් කාටවත්ම ඇතුළු වෙන්න බැරි විදියටයි සැලසුම් කරලා තියෙන්නේ. බිංදුගේ සැර වැඩිවීමට මේ කාරණයත් බලපෑවා. සුජාතා හදල දීපු තේ එක නිවී සැනසිල්ලේ බීපු අබේපාල මහත්තයා ගෑස් සිලින්ඩරය හොයන්න ලෑස්ති වුණේ හරියටම එය තියෙන තැන තමන් දන්නවා වගේ හිතාගෙන. ඒත් එය වෙනදා තිෙයන කිසිම තැනක නැතිවෙනකොට නම් හිතේ පොඩි සැකයක් උපන්නා.
” ඇත්තටම හොරෙක්වත් ගෙනිහින් ද
ඒත් එහෙම වෙන්නේ කොහොමද
මේ තරම් බර දෙයක්
බිංදුත් ඉන්දෙද්දී
ඒකනම් කොහොමටවත් වෙන්න බැහැ.
ඒත් දැන් කාලේ ඉන්න හොරු ගැන කියන්න බැහැ ”
වෙන්න බැරි වුණාට නොහිතපු දෙය ඒ ආකාරයටම සිද්ධ වෙලා තිබුණා. දවල් දොළහ විතර වනතුරුම තුන්දෙනාම නොසෙවිය යුතු තැන්වලත් සෙවූ මුත් ගෑස් සිලින්ඩරය නම් සොයාගන්න බැරි වුණා.
තුන්දෙනාම හෙම්බත් වුණායින් පසුවයි අබේපාල මහත්තයට ගෑස් සිලින්ඩරය නැතිවෙලා බව ඒත්තු ගියේ. දැන් ඉන්න එකම සාක්කිකාරයා බිංදුයි කියන බැල්මෙන් අබේපාල මහත්තයා බිංදු දිහා බැලුවත් බිංදු වහාම අහක බලාගත්තේ
” මංනං දන්නේ නැහැ ”
කියන්නා වගෙයි.
සුජාතාට කියලා නැවතත් තේ එකක් හදවගෙන අබේපාල මහත්තයා වාඩිවුණේ කැමරා පද්ධතිය පරීක්ෂා කරන්න. ගෑස් සිලින්ඩරය ගෙනාපු දවසේ සිට පෙරදා රැය දක්වා ඉස්සරහට පස්සට දුවවමින් පරීක්ෂා කළත් කිසිදු හෝඩුවාවක් හමුවුණේ නැහැ. හැම රැයක්ම, දහවලක්ම එකම වගේ.කිසිදු අමුත්තක් නැහැ. බිංදු නිදාගන්න ස්ථානය වෙනස්කරන අන්දමත් ඉඳහිටක රාත්‍රියට බළලකු පසුපස එළවාගෙන යන අන්දමත් හැර වෙන ගතයුතු විශේෂ යමක් ඒවායේ පටිගතවී තිබුණේ නැහැ.
අබේපාල මහත්තයා කැමරා දත්ත පරීක්ෂා කරන්න පටන්ගත්තේ මගහැරුණු යම් හෝඩුවාවක් ඇත්දැයි බැලීමටයි. බිංදුත් නිහඬවම අබේපාල මහත්තයාගේ දෙපා මුල දිග ඇදී සිටියේ කනස්සල්ලෙන්. හවස කෝපි කෝප්පයකුත් හදාගෙන ආව සුජාතා කිව්වේ වෙනමම කතාවක්.
” අපූරුවට හිටපු බල්ලා
ඔයා තමයි කොමල කරලා කරලා නරක් කළේ දැන් කොයි වෙලෙත් බලන්නේ හොඳට නාලා හොඳට කාලා ඔයාගේ ඔඩොක්කුවට නැඟල හුරතල් වෙන්න, නැත්නම් කාර් එකේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඔයත් එක්ක උදේට රවුමක් යන්න.
ඔයාම තමයි මේකට වගකියන්න ඕන
මම එපාම කියද්දී බල්ලෙක් උස්සගෙන ආවා. අපිත් බල්ලටම ඔක්කොම පවරලා හොඳට නිදාගත්තා.
හොඳ වැඩේ.
මදැයි සැර බල්ලෙක් හැදුවා
මිනිස්සු දන්නවා නම් අපිට හිනාවෙයි ”
සාවධානව අහගෙන හිටියා මිසක් අබේපාල මහත්තයා මොකුත්ම කියන්න ගියේ නැහැ. සුජතාගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැහැ නේද කියලත් හිතුණා.
” ඒත් මම බිංදුව ගෙනාවේ හොරු අල්ලන්නම නෙවෙයිනේ”
අනෙක් අතට හිතුණා. එදා අඳුර වැටෙනකොට වෙනදා නොතිබුණු බයකින් තුන්දෙනාගෙම හදවත් පිරිලා ගියා. කවදාවත් නොදැනුණු අනාරක්ෂිත බවක් දැනෙන්න පටන්අරගෙන තිබුණා. රයිස් කුකර් එකේ බතක් උයලා පොල් සම්බෝලයක් හදලා බිත්තර තැම්බුවා මිසක් ගෑස් ගේන්න අබේපාල මහත්තයව ටවුමට යවන්නවත් සුජාතා කැමැති වුණේ නැහැ. හවස පහ හය වෙනකොටම ඔක්කොම දොර ජනෙල් වහගෙන තුන්දෙනාම ගෙට වුණා. බිංදුව එළියට දමලා දොර වැහුවත් ටික වේලාවකින් දොර හූරන්නයි කෙඳිරිගාන්නයි ගත්ත නිසා
“මහ ගොං බල්ලෙක්”
කියලා බණිමින්ම සුජාතා දොර ඇරලා බිංදුවත් ගෙට ගත්තා.දැන් හතර දෙනාම ඇතුළේ.
දෙමහල්ලන් සාකච්ඡා කරලා අවසන් නිගමනයට ආවේ මේ ගැන පොඩි පුතාට කියන්න. ඒ අනුව ඇමතුමක් අරගෙන මාරුවෙන් මාරුවට දෙන්න එක්කම අඛිලට විස්තරය කිව්වා.
” තාත්තලා බයවෙන්න එපා.
මම හෙට පාන්දරින්ම එන්නම්.
හොඳට දොරවල්, ජනෙල් වහගෙන නිදාගන්න ”
අඛිල කිව්වේ එහෙම.
නිදාගන්න ඇඳට ගියත් නිදාගන්නවට වඩා කළේ අවට ශබ්දවලට ඇහුම්කන් දෙන එක. බිංදු බළල්ලු පස්සෙ එළවන ඒවා, පාරේ බ්‍රේක් ගහන ඒවා කවදාවත් නැතිව අද ඇහෙනවා. දෙගොඩහරියක් වෙනකම් ඇහැරිලා හිටපු සුජාතට උදේ ඇහැරෙනකොට අබේපාල මහත්තයත් ඇහැරලා මූණත් හෝදලා ඉවරයි. ඒත් මූණේ නම් තිබුණේ මුළු රෑම නිදිවරපු ස්වභාවයක්. උයන්නත් ගෑස් නැති නිසා අබේපාල මහත්තයා උදෙන්ම ගිහින් ගෑස් සිලින්ඩරයක් ගෙනාවා. කාර් එකේ නැඟගෙන රවුමක් යන්න බලාගෙන හිටපු බිංදුව නම් එදා එක්කරගෙන ගියේ නැහැ.
අඛිල එනකොට උදේ නවය විතර වුණා.හොරාව අල්ලගෙන ගෑස් සිලින්ඩරය හොයාගන්න බැරි වුණත් මතු ආරක්ෂාවට හරි පොලීසියේ පැමිණිල්ලක් දමමු කියන එක තමයි අඛිලගේ අදහස වුණේ. ඒත් අබේපාල මහත්තයා කිව්වේ.
” පොලීසි ගිහින් නැති කරදර දාගන්නවට වඩා මීට පස්සේ අපේ බඩු අපි පරිස්සම් කරගමු”
කියන එක .
” නෑ නෑ පොලීසි යන්න
මේ බල්ලෙක් හිටියට වැඩක් තියනවයැ
බොරු සැර විතරයි.
හොඳ මිනිහෙක් ගෙදරට ආවොත් විතරයි මූ පනින්නේ.
හොරු දැක්කම හැංඟෙනවා ඇති.
නිකං සෙල්ලම් බල්ලෙක් විතරයි ”
සුජාතා විරුද්ධ වුණා.
” බිංදුට පුළුවන් ද ඩියුටි දෙකක් කරන්න
හොරු අල්ලන්නයි.
හුරතල් වෙන්නයි.
ඒ නිසා බිංදු හුරතල් වෙන එක තෝරගෙන
නේද බිංදු”
බිංදුව ළඟට ඇදගෙන හුරතල් කරන ගමන් අඛිල කිව්වා.
” අපොයි මේ ගොං බල්ලෙක් හුරතල් කරන හැටි
මූ දන්නේ ඔච්චරයි. රෑට හොඳට එළියේ පුටුවක් උඩට වෙලා නිදි වෙලාවට කිරි ටික බත් ටික ඕනේ
මේ රමණිත් මූව නරක් කරනවා”
සුජාතා මූණ නරක් කරගෙන සැර වුණා.
හැබැයි පොලීසියෙන් මෙහෙට ඇවිල්ලා සෝදිසි කරනකොට කතාව පිටට ආරංචි වුණොත් එහෙම බිංදුගේ විතරක් නෙවෙයි අපෙත් සායම හේදෙනවා. හැමෝම හිතාගෙන ඉන්නේ බිංදු නිසා හොරෙක් තියා කුරුල්ලෙක්වත් අපේ වත්තට එන්නේ නැහැ කියලා”
පොලීසි යන්න අඳින අතරේ කාමරේ ඉඳගෙනම අබේපාල මහත්තයා කිව්වා.
” දැන් බල්ලො පරිණාමය වෙලා.
උන්ගේ ප්‍රධානම ජොබ් එක හොරු ඇල්ලිල්ල නෙවෙයිලු
පොඩි ළමයි බලන එක, වයසක අයට උදව් කරන එක, පාළු මකන එක වගේ ලයිට් ඩියුටිලු.
ඒ නිසා බලු ඉවත් දැන් අඩු වෙලාලු”
අඛිල කිව්වේ තමන් කියවපු දෙයක්.
” ඒකට ඒ කාලෙ අපේ ගෙවල්වල හිටපු බල්ලො
හඳ එළියට කොළයක් හෙලවුණත් වරුවක් බුරනවා
රෑට අපිට නින්දකුත් නැහැ ”
සුජාතා අතීතය මතක් කළා. තාත්තයි පුතයි වාහනයට නැඟලා පිටත්වෙනකොටම සුජාතා කාර් එකදිහාවට ඉක්මන් ගමනින් එන හැටි දැකලා අඛිල වාහනය නැවැත්තුවා.
” ඇයි අම්මේ “?
” එක්කො පොලීසි යන්න ඕන නැහැ”
” ඒ මොකද?
ඔයාමනෙ ඊයෙ ඉඳලම පොලීසි යන්නම කියල උඩ පැන්නේ”
අබේපාල මහත්තයගෙ ඇස්වල තියෙන්නේ පුදුමයක්
” ඒත් දැන් ඕන නැහැ
අපේ බඩුවත් අපි පරිස්සම් ඇති තැනක තියලා තිබ්බේ නැහැනේ ”
” මොකද මේ අම්මගෙ හිටි ගමන් වෙනස ?”
” ඔය පොලීසි ගමන බිංදුගෙ නමටත් හොඳ නැහැ”
සුජාතා කීවේ බැරෑරුම් මුහුණක් මවාගෙන.
තාත්තයි පුතයි මුහුණට මුහුණ බලාගත්තා.
බිංදු ඈත ඉඳන් වලිගය වැනුවා.
ෂර්මිලා බංදුනී දංවත්ත