චිත්‍ර කලාවේ කවි කලාවේ විරෝධකාල්පනිකයා කොල්වින් සෙට්ටිනායක
කොල්වින් සෙට්ටිනායක අවුරුදු හැටක පමණ කාලයක් චිත්‍ර අඳියි. කවි ලියයි. කෙටිකතා ලියයි. පොත් පිටකවර විචිත්‍ර කරයි. බතික් මෝස්තර නිර්මාණය කරයි. පින්තාරු ක්‍රම උගන්වයි. එහෙත් ඔහු කිසිදු අගැයීමට ලක් නොවීය. ඔහු ඒ ගැන උනන්දු වන්නේ ද නැත.
1944 දෙසැම්බර් 31 වැනිදා මැදියමේ ඔහු උපන් නැකත කලාකරුවකු උපන් නැකතක් ලෙස හඳහන ලියූ කිසිවකු කියා ඇද්දැයි දැනගන්නට නැත. සමහරවිට ග්රහයන්ටත් හොරා ඔහු කලාකරුවකු කරන නැකත යෙදී තිබෙන්නට ඇත.
දකුණු කළුතර පීඩිත පන්තියේ පවුලක ජන්ම ලාභය ලත් ඔහුගේ පරපුරේ ඇත්තෝ විචිත්‍ර කැටයම්කරුවෝ වූහ. ඒ කැටයම් ශිල්ප ඔහුට කිසිවකු ඉගැන්නුවේ නැත. ඔහු ඉගෙන ගත්තේද නැත. එහෙත්, විශ්වකර්මයා ඔහුට චිත්‍ර කර්මය රහසින් උගන්වන්නට ඇත.
එහෙත්, ඔහු මුලින්ම කළේ නාට්‍ය රචනයයි. ඔහු ‘බරණැස් සිටුදුව’ නමින් පිටපතක් ලිව්වේය. අයියා, බෙනට් සෙට්ටිනායක එය නිෂ්පාදනය කළේය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවක හොරණ විද්‍යාරතන විද්‍යායතනයේ ශිෂ්‍ය ධර්මසිරි බණ්ඩාරනායකය. නාට්‍ය කෙරුවාට ඔහුට ජන්මයෙන් නියම කළ කාරිය නොවන බව ඔහුට වැටහී යන්නට ඇත. කළුතර ඤාණෝදය පාසලෙන් ද, වැඩිදුර අධ්‍යාපනයට විද්‍යාසාර පිරිවෙණට ගිය ඔහු, උගැන්ම අවසන් කළේ පොතුපිටිය මහා විද්‍යාලයෙනි. උගැන්මට ඔහු අදිමදි කළේ චිත්‍ර කලාවට වඩාත් ලොල්වීම නිසාය. පාසලේදීවත් චිත්‍ර කර්ම ගුරුවරුන් ඔහුගේ හැකියාව හෝ කුසලතාව දුටු බවක් දැනගන්නට නැත. හංසයන්ට පීනන්නට කියාදුන් කෙනෙක් නැත. කුරුල්ලන්ට පියාඹන්නට කියාදුන් කෙනෙක් ද නැත. කොල්වින්ට චිත්‍ර කලාව කියාදුන් කෙනෙක්ද නැත. සහජ හැකියාව ඇත්තන් එවක ලලිත කලායතනයට ගියත් ඔහු ඒ ගැන උනන්දු දැක්වූයේ ද නැත.
කොල්වින් සෙට්ටිනායක එදා වගේම අදත් ගැමි කලාකරුවෙකි. ගැමි කලාකරුවෝ ස්වකීය කලාව කරනවා මිස වැඩිදුර හැදෑරීමට උනන්දු නොවෙති. ප්‍රසිද්ධිය පතා යන්නේ ද නැත.
මට ඔහු හමුවන්නේ ලේක්හවුස් ප්‍රබලයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා දෙමළ පත්තර ගැසූ වීරකේශරී යන්ත්‍රාලයේ සිංහල පත්තර ගහන්නට පටන් ගත් 1963දී පමණය. ප්‍රවීණ පත්රකලාවේදියකු වූ තිස්ස ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් ‘ලස්සන’ නමින් සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතක මා සේවය කරද්දී කොල්වින් සෙට්ටිනායක නම් කෙසඟ සිරුරක් ඇති තරුණයකු මා සොයා ආවේ, චිත්‍ර කිහිපයක් ද රැගෙනය. ඔහුගේ ආසාව වූයේ පත්තරයට චිත්‍ර ඇඳීමටයි. ඔහු තම චිත්‍ර රෝල දිගහැර පෙන්නුවේය. මේවා සිබිල් වෙත්තසිංහ ඇඳපුවද? යැයි මම ඇසීමි. ‘නෑ මගේ චිත්‍ර’. මම ඔහුට ලස්සන ළමා පිටුවේ කවි කිහිපයක් දී ඒවාට චිත්‍ර අඳින්නැයි කීවෙමි. ‘සිබිල් වෙත්තසිංහ වෙස්වළාගෙන ඇවිත්දැයි’ මට සිතිණි. ඒ ඔහුගේ ළමා චිත්රයි. වඩාත් පරිණත අත්දැකීම් සහිත කාව්‍ය රචනා එක්ක චිත්‍ර සටහනක් ද එක් කිරීමේ අදහසක් මා තුළ පහළ වූයේ කොල්වින්ගේ චිත්‍ර ශෛලිය දුටු විටය.
අපේ විහාර චිත්රවල සුලබ රේඛා චිත්රවල එන ප්‍රබලතාව සහිත ඉතා ක්ෂුද්‍ර චිත්‍ර අඳින්නට ඔහු රුසියෙකි. එක් රේඛාවක හැඩතල ඔස්සේ පීඩනය, ප්‍රමෝදය හෝ විරහව පිළිබිඹු කිරීමට ඔහුට පුළුවන. පත්තර කවි පිටුවකට චිත්‍ර එක්කළ මුල්ම අවස්ථාව එය බව මගේ විශ්වාසයයි.
1969 දී ආචාර්ය සුනිල් ආරියරත්න සිය පළමු නවකතාව ‘ජීවිතය ගීතයක් වේවා’ කෘතියේ හැම පරිච්ඡේදයකම ආරම්භයට චිත්‍රයක් එක් කිරීමට යෝජනා කළේය. කොල්වින් සෙට්ටිනායක, ඇතුළත චිත්‍ර සටහන් අපූරුවට නිම කළේය. පිටකවරය නිර්මාණය කළේ මහගමසේකරය. ඉනික්බිති අප සමඟ ලස්සන පත්තරේ වැඩ කළ චින්තන ජයසේනගේ ‘මල් සතක් සේ හිරු නැඟෙන්නා’ පිටකවරය සිත්තම් කළ කොල්වින් 60 දශකයේ මා ලියූ කවි පොත, ‘අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා’ පිටකවරය ද ඇඳ දුන්නේය.
අද වනවිට පොත් පිටකවර කලාවේ නොමැකෙන මංසලකුණු තබා සිටින ඔහු බර්ටි බී. කුඩාහෙට්ටිගේ ‘සින්ඩරෙල්ලා’ සහ කෙළී සියෝළඟ දූලි ගාලා – මාගම් තෙන්නකෝන්ගේ “පිස්සකුගේ දිනපොත” – රත්නපාල විතානගේ ‘ලස්සන ලංකා’ සිරිලාල් කොඩිකාරගේ ‘කණේරු මල්’ සහ ‘ගහෙන් වැටුණු ගැහැනිය’ , ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ ‘කෝමල රේඛා’(දෙවැනි මුද්‍රණය) කොත්මලේ සිරිසේනගේ “සඳ නිවුණු රාත්‍රිය” සහ “මැදියම් රැයක් ගෙවුණු වගයි”, අමරදේව සහ නන්දා මාලිනීගේ “ශ්‍රවණ ආරාධනා” සමරු පිටකවරය සහ රත්න ශ්‍රී විජේසිංහගේ “සන්ධ්‍යා තීර්ථ” ඉන් කිහිපයකි. කොල්වින්, නාලන්දා ශිෂ්‍ය පන්සිළු සහ මතුමධුර කුරුවිට බණ්ඩාර ලියූ ‘අයියගෙ කතාවයි, මල්ලිගෙ කතාවයි ඇතුළු ළමා පොත් රැසකට චිත්‍ර ඇඳ ඇත. ඔහුම ලියූ ලන්දු,පිරුණු කළේ, සරස්වතී, කුරුලු කැලේ” ළමා කෘතිවල චිත්‍ර නිර්මාණ ද ඔහුගේමය.
ලස්සන පත්තරේ චිත්රවලට මා වැටුපක් ගෙව්වේ නැත. දීමනාවක් ගෙව්වේ ද නැත. ඔහුගේ ආශාව ඉටුකර පොඩි තුටුපඬුරක් දුන්නෙමි. ඔහු තුටු සිතින් එය බාරගත්තේය. ඉනික්බිති ඔහු ‘ඇත්ත’ පත්‍රයට සම්බන්ධ විය. එහිදී ඔහුගේ සමීපතම මිතුරන් වූයේ සාහිත්‍යවේදීන් දෙදෙනෙකි. ඒ සයිමන් නවගත්තේගම සහ සිරිලාල් කොඩිකාරයි. සයිමන්, කොල්වින්ගේ චිත්රවලට වහවැටී තම සුද්දිලාගෙ කතාව චිත්‍ර කතාවකට අඳින්නට යෝජනා කළේය. කොල්වින් ඇත්ත පත්තරේට සුද්දිලාගේ කතාව ඇන්ඳේ “අයි.ආර්.සී කාරයෝ” නමිනි. සිරිලාල් කොඩිකාර “කණේරු මල්” පිටකවරය ද “ගහෙන් වැටුණු ගැහැනිය” පිටකවරය ද කොල්වින් ලවා අන්ඳවා ගත්තේය. ඇත්ත පත්‍රයේත් කර්තෘ මණ්ඩලයට ඔහු නිල වශයෙන් බැඳුණේ නැත. එහිදී ලැබුණු මුදල ද ඔහු තුටුපහටුව බාර ගත්තේය. ඒ ඔහුගේ හැටිය. එක් අතකින් සල්ලි පස්සේ නොයෑම හොඳය. එහෙත් අද ආපසු හැරී බලනවිටත් කොල්වින් සෙට්ටිනායක නිර්ධන පන්තියේය.
ඇත්තෙන් පසු ඔහු මහවැව, කොස්වාඩියේ බුද්ධි කීර්තිසේනගේ ‘බුද්ධි බතික්’ ආයතනයේ චිත්‍ර ශිල්පියා ද කළමනාකාරවරයා ද විය. සේවිකාවන් රාශියක් පාලනය කළේ ද ඔවුන් පුහුණු කළේ ද ඔහුය. ඒ හැම සේවිකාවක්ම පාහේ ‘බඩබැඳගෙන’ ‘කොල්වින් සර්ට’ ආදරය කළේය. ඒ අතර කොල්වින්ට ‘පණ ඇරගෙන’ ආදරය කළ කෙනෙක් ද විය. ඒ චන්ද්‍රාණි අද කොල්වින්ගේ ආදරණීය බිරිය වී සිටියි. බුද්ධි බතික් ආයතනයේ ඇඳුම් මෝස්තර ශිල්පියාව සිටි මංගල සමරවීර ද කොල්වින් ඇමතුවේ ‘කොල්වින් සර්’ කියායි. ඒ මිතුරා මොන ඇමැතිකම් කළත් ඔහු කිසිදාක ඔහු හෝ වෙනත් බලවතකු හමුවී කිසිදාක කිසිවක් ලබාගත් කෙනෙක් නොවේ. ඔහු මේ වනවිට චිත්‍ර ප්‍රදර්ශන 7ක් පවත්වා ඇත. කොළඹ සමුද්‍ර ගැලරියේ පළමු ප්‍රදර්ශනය විවෘත කළේ මහගමසේකරය. සමුද්‍ර ගැලරියේම දෙවැනි ප්‍රදර්ශනය විවෘත කළේ පණ්ඩිත් අමරදේවයි. ලයනල් වෙන්ට්හී ප්‍රදර්ශනය විවෘත කළේ විශාරද නන්දා මාලිනීය. කොළඹ කලා භවනේ එක් ප්‍රදර්ශනයක් විවෘත කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසය. තවත් ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වූ ඔහු 1980 දී ජාතික ශිල්ප සභාවේ අනුග්‍රහයෙන් සිංගප්පූරුවේදී ද ප්‍රදර්ශනයක් පැවැත්වීමට භාග්‍යය ලැබුවේය.
ඔහුට ජන වහර ඇසුරින් තනාගත් ව්‍යාංජන ශක්තියෙන් අනූන භාෂාවක් තිබේ. ඔහුගේ හැම නිර්මාණයකටම පාහේ වස්තුවිෂය වූයේ ඔහුගේ හාත්පස දිළිඳු සමාජයයි.
මම අද ඉස්කෝලෙ ගියේ
කහට වතුර ටිකක් බීලා
පොත පාඩම් දෙන වෙලාවෙ
මට බඩසාගිනි දැනුණා
ඒ වෙලාවෙ මට
මගේ අම්මා මතක් වුණා
මට වගේම අම්මාටත්
බඩසාගිනි දැනෙනවා ඇති
පයිප්පයෙන් වතුර බිබී
ඇය පොල්ලෙලි තළනව ඇති
ඉස්කෝලෙ ඇරුණු ගමන්
එගොඩවෙලා ඒදණ්ඩෙන්
නියර දිගේ දුවලා දුවලා
හති වැටිලයි ගෙදර ආවෙ
හති වැටිලයි කඩුල්ල උඩ
මං ඉඳගත්තේ
අම්මා බත් උයලා තිබුණ
අම්මා උයන පිහින කෑම
හරිම හරි රහයි.
ඔහු ලියූ “ලන්දු ,කුරුලු කැලේ, පිරුණු කළේ, සරස්වතී” ඔහුගේ මනරම් පදවලින් ද, සිත්ගන්නා සිතුවමින් ද අලංකාර වී තිබේ. ඔහු ලියූ ගීත රචනාවල ද ඇත්තේ සුන්දරත්වයකි.
අඹ මල් වියනට
බඹරුන් ඇවිදින්
සුවඳයි ගහ ගාව
මගෙ පෙම් උයනට
සොඳුරිය ඇවිදින්
සිසිලයි මා ගාව
වැටකොටු අවුරා
නවතාලනු බෑ
ගලනා ගංඟාව
වක්කඩ කැඩුවා
වාගෙයි සෙනෙහස
උතුරන ලීලාව
ඇස නොගැහී හිත
වාවනු බැරුවා
උස්මිටිකම් ආදරය මෙතරම්
ඇයි මේ කෙණෙහිලිකම්
කන්ද උඩින් හඳපාන සිනාසෙයි
මුව කමලක් සේම
දෝතට ගත් මල්
කෝමල අසිරිය
මදි නොවැ හැමදාම
සිරිල් බී.පෙරේරා, කොල්වින්ගේ චිත්‍ර අරබයා ඔහු හැඳින්වූවේ ‘විරෝධකාල්පනිකයා’ යනුවෙනි. චිත්‍ර අන්තර්ගතය එසේ වුවත් කොල්වින්ගේ ක්‍රියාකලාපය එසේ නොවේ. එදා භද්‍ර යෞවනයේදී ද ඔහු සන්සුන්ය. විනීතය. ඔහු දුරදිග බලා තම කලා ජීවිතයටත් දෛනික ජීවිතයටත් උපකාරී වන ලීලා චන්ද්‍රාණි කරකාර බැඳ ගත්තේය. ඇය පණ සේ කොල්වින් රැකබලා ගනී. ‘දමිත ප්‍රබෝධ, මුදිත උදාර’ පුත්තු පිය සෙනෙහසින් පියා වෙනුවෙන් කැපවී සිටිති. ‘ලන්දු, නෙත්, පවන්’ ඊළඟ පරපුරද කලාවට ලැදිය. කලාකාර සීයාට ද ළැදිය.
කිසිවකු සුවඳ ඉල්ලුවත් නැතත් මල සුවඳ විහිදන්නාක් මෙන් කොල්වින් තවමත් ලියයි. අඳියි. තුටු සිතින් දිවි ගෙවයි. ‘එන්න යන්න මාත් එක්ක’ නවකතාව ඔහුගේ තෘප්තිමත් ජීවිතයේ දෝංකාරයයි.
තිලකරත්න කුරුවිට බණ්ඩාර
අපූරු පොතකි! කදිම ලියැවිල්ලකි
කතුවරයා සිය පාඨක සමූහයා ද කැටුව චාරිකාවක නිරත වෙති. එක අතෙකින් එය ගෞරවනීය වන්දනා ගමනකි. තව අතෙකින් එය ආස්වාදයෙන් පිරි අධ්‍යයන චාරිකාවෙකි.
(King Soloman’s mines) “සොලමන් රජුගේ බිම්ගෙවල්” නම් ජනප්‍රිය ඓතිහාසික නවකතාව රචනා වන්නේ එක්දහස් අටසිය ගණන්වලය. එහෙත් එම නවකතාවට අදත් වෙළෙඳපොළ වටිනාකමක් තිබේ. එය වික්‍රමාන්විත ක්‍රියාවලින් සමන්විත අද්භූත සිදුවීම්වලින් ගහන කුතුහලය අවුස්සනසුලු ප්‍රබන්ධයක් ලෙස විචාරක – පාඨක අවධානයට ලක් වී ඇත. රචකයා රයිඩර් හැගාර්ඩ් ය. අප්‍රිකානු මහාද්වීපයට අයත් හුදෙකලා කඳුගැටයක් වූ සොලොමාන් ශිඛරය පාදක කොට ප්‍රබන්ධය රචනා වී ඇත. මේ නවකතාව පාදකකොට නිෂ්පාදනය වූ චිත්‍රපට ගණන හතකි. රූපවාහිනී වැඩසටහන් ප්‍රමාණය සිය ගණනකි. ඒ සෑම ප්රයත්නයක් ම එක සේ ජනප්‍රිය වෙයි.
අප්‍රිකානු ගෝත්‍රික ජන කණ්ඩායම් අතර මේ කන්ද හා කන්දට අධිගෘහිත දෙවියන් ගැන ජනකතා රාශියක් පවතී. සෑම කතාවක්ම කුතුහලය අවුස්සනසුලු රසබර හා අද්භූතජනක සිදුවීම්වලින් ගහනය. හැගාර්ඩ් සිය නවකතාව රචනා කරන්නේ එම කතාන්දර පරෙස්සමෙන් හැදෑරීමෙන් පසුවය. ජනකතා හැදෑරීම සංස්කෘතික අධ්‍යයනයේ කොටසකි. ඇතැම් රාජ්‍යයන් මේ සඳහා වෙන ම ආයතන පවත්වාගෙන යයි. ජනකතා අධ්‍යයනය දැනුම සොයා යෑමක් ලෙස සලකනු ලැබේ. කලකට පෙර අපේ සංස්කෘතික අමාත්‍යාංශය ජනකවි අධ්‍යයනය සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළේය. ඉන් එක ව්‍යාපෘතියක් වූයේ ජනකවි ඒකරාශී කිරීමය. එය වටිනා සාංස්කෘතික මෙහෙවරක් වූ අතර, අද එබඳු වැඩසටහන් දකින්නට නැත.

උපාලි සමරසිංහ
අපට හදිසියේ ම ජනශ්රැති ගැන සිහිපත් වූයේ උපාලි සමරසිංහගේ අභිනව ග්‍රන්ථය කියැවීමෙන් පසුවයි. එය හඳුන්වා ඇත්තේ “සමනොළ අඩවියේ අසිරිමත් කතන්දර” යනුවෙන් ය. අපේ ජනශ්රැති අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට සේම රසබර කතාන්දර සොයන කෙනකුටද එක සේ වැදගත් වන මේ කෘතිය අභිරුචියකින් පරිහරණය කළ හැකි ශාස්ත්‍රීය කටයුත්තක් සේ හඳුන්වා දෙන්නට කැමැත්තෙමු.
කෘතියට අදාළ පසුවදන සපයා ඇති මහාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා උපාලි සමරසිංහගේ පරිශ්රමය බෙහෙවින් අගය කර තිබේ. “මේ පොත කියවාගෙන යන විට ශ්‍රී පාදය හා ඒ අවට පරිසරය ගැන පමණක් නොව; එම ප්‍රදේශයේ ජීවත් වූ සත්ත්ව වර්ගයා ගැන ද තොරතුරු උකහාගත හැකිය. උපාලි සමරසිංහ මහතා ඉහත කී තොරතුරු හා කතාන්දර පාඨකයා වෙත සමීප කර ඇත්තේ කුතුහලය දනවන ආකාරයෙන්ය.”
(පසුවදන – සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
උපාලි සමරසිංහ යනු අපේ සිංහල පුවත්පත් කලාවේ රසබර හා අර්ථවත් කතා ගොතන්නෙකි. එමෙන්ම ජනප්‍රිය විශේෂාංග රචකයෙකි. ඉරිදා සිංහල පුවත්පත්වලට විවිධ – විචිත්‍ර විශේෂාංග රචනා කරමින් නමක් තබා ඇති උපාලිට ඇත්තේ අපූරු රචනා විලාසයෙකි. ඔහු සිය නිර්මාණ ඔස්සේ සනාථ කර ඇත්තේ සජීවී නිරූපණ සහිත පුවත්පත් ලිපිය ඉලෙක්ට්‍රොනික නිර්මාණයකට වඩා ශක්තිමත් බවය. මේ අනුව උපාලිට විශාල රසික සමූහයක් සිටිති.
මේ කෘතියට පෙරවදනක් සපයන දම්පහළ සීලානන්ද හිමියෝ උපාලිගේ ශාස්ත්‍රීය මෙහෙවර සම්බන්ධයෙන් මෙබඳු සටහනක් තබති.
“සමනොළ අඩවියේ අසිරිමත් කතන්දර” තුළ අන්තර්ගත ඇතැම් තොරතුරු දුර්ලභය. විටෙක ඒවා අප සිත් ත්රාසයෙනුත්, භීතියෙනුත්, කුතුහලයෙනුත් සසල කරවයි”
“මේ පොත පළ කිරීමේදී අනලස්ව වෙහෙසී ජනකතා රැස්කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේය. එම කතා සමඟ විදේශ සංචාරකයන්ගේ අත්දැකීම් අනාවරණ වාර්තා ද එක් තැනෙක සටහන් කර තැබීම නිසා මේ විෂය කෙරෙහි උනන්දුවක් දක්වන කාගේ වුවද පැසසුම කතුවරයා වෙත පිදෙයි.”
(පෙරවදන – පිටුව – 10)
දම්පහළ සීලානන්ද නායක හිමියන් රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි පිරිවෙන්පති ලෙසද ශ්‍රී පාදස්ථානය භාරකාර හිමියන් ලෙස ද වසර විසිපහකට වැඩි කාලයක් රාජකාරි කර ඇත. ශ්‍රී පාදය සිද්ධස්ථානය පිළිබඳ උන්වහන්සේගේ දැනුම හා අත්දැකීම මෙපමණකැ’යි කියා අවසන් කළ නොහැකිය. එබඳු මහ පඬිවරු පවා “සමනොළ අඩවියේ අසිරිමත් කතන්දර” පොත අගය කරති. ඉන් සනාථ වන්නේ උපාලි සිය පර්යේෂණ කෘතිය ඉතා සැලැකිල්ලෙන් හා අවබෝධයකින් යුතුව පරෙස්සමට සිදුකර ඇති බවය.
මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමේදී මනා ශික්ෂණයකින් මෙන්ම උපායශීලිව ද කටයුතු කරන්නට ලේඛකයකුට සිදුවනු ඇත. එය බරපතළ වගවීමකි. මූලාශ්‍ර ලෙස මානව ජීවිත භාවිත කිරීම් පහසු නැත. විශේෂයෙන් කතුවරයා මූලාශ්‍ර ලෙස භාවිත කරන යෝගාශ්‍රම හිමිවරුන් මෙන්ම අප්‍රකට පුද්ගලයන් ද ප්‍රසිද්ධියට කැමැති නැත. එබඳු භූමිකාවන් මූලාශ්‍ර ලෙස ගනිමින් පොතක් පළ කිරීමේ දී නැවත – නැවත කරුණු විමැසීමේ අවස්ථාව ලේඛකයාට අහිමි වෙයි. ඇතැම් විට පොතක් පළ කිරීම සඳහා තමන්ගේ නම භාවිත කිරීමට සමහරුන් විරුද්ධ වන්නටත් පුළුවන. උපාලි එම අභියෝගයට මුහුණ දුන් බව මා සමඟ පවසා ඇත. එහෙත් ඉවසීමෙන් හා උපායශීලිව කටයුතු කිරීමෙන් තම අරමුණු ජය ගන්නට ඔහු සමත් වී ඇත. ගවේෂණශීලි පත්රකලාවේදියකු හැටියට ඔහු ලබා ඇති පුහුණුව හා ශික්ෂණය මෙහිදී නිසි ලෙසින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනෙයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අධි ජල පෝෂක කලාපයක් වූ ශ්‍රීපාද අඩවිය තරම් කතාබහට ලක් වූ වෙනත් කඳුගැටයක් රටේ නැත. එය භූගෝලීය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ශ්‍රී ලංකාවේ ඇති වැදගත්ම උස්බිම සේ සැලැකිය හැකිය. මේ නිසාම සමනොළ අඩවිය පිළිබඳ පොදු ජන විශ්වාස – ඇදහිලි – වන්දනීය තත්ත්වයන් ඉහළින් ම සටහන් වී ඇත. අදටත් මේ උස්බිම ආශ්රයෙන් සොයා නොගත් භූ – කලාප හා පූජනීය ස්ථාන ගැන වග විස්තර සබරගමුව පළාත තුළ පවතී. උපාලි සමරසිංහ කතුවරයා ඒ සියල්ල කෙරෙහි සිය පර්යේෂණ ඇස යොමුකොට තෝරාගත් ස්ථාන සමඟ ආරම්භ වූ ජනකතා ද දක්වමින් සිය කෘතිය සම්පාදනය කර තිබේ.
සමන් දෙවියන්ගේ අඩවියේ හාස්කම් ස්වභාවධර්මයේ දඬුවම්, සිල්වත් ස්වාමීන් වහන්සේලා පිළිබඳ තොරතුරු හා උපාසකයන් පිළිබඳ කතාන්දර ද රසවත් ලෙස නිරූපණය කරයි. මෙහිලා ඔහුගේ ප්‍රතිභා ගුණය හොඳින් ම ප්‍රයෝජනයට ගෙන තිබේ. කතාවකින් – කතාවකට ඔහුගේ ආඛ්‍යාන ක්‍රම වෙනස්ය. පාඨකයා වෙහෙසට පත් නොකොට ඔවුනට විස්මය දැනවීම සඳහා විවිධ ශිල්පීය උපාය මාර්ග කතුවරයා විසින් අනුගමනය කරනු ලැබේ.
මේ කෘතියේ රසාලිප්ත වර්ණනා හා අපූරු නිරූපණ ගෙනහැර දැක්වීම සඳහා ආරම්භ ඡේදයෙන් කොටසක් උපුටා දැක්වීම වැදගත්ය. “නටන මොනරුන්ගෙන් හා දුව පනින මුව පොව්වන්ගෙන්, ගෝණ, සා, මීමින්නන්ගෙන් පිරි මේ මහා වනය සුන්දරය. සදාහරිත වන වදුලෙන් හා තුරුලතාවෙන් සෝබමාන මේ වන පෙදෙස තුළ සැඟව ඇති බොහෝ රමණීය තැන් තවමත් මිනිස් ඇසට මුළුමනින් ම හසු නොවුණු බව සත්‍යයකි. කුරු අලින්ගේ කුංචනාදයත් මුවන්ගේ කොව් ගැහිල්ලත්, රිලා – වඳුරන්ගේ බුකු – බුකුවත් නිතර ඇහෙන සිරිපා කන්දේ ඇතුළත වන්දනාකරුවන් මාර්ගවලට එපිටින් ගුප්ත හා විස්කම් දේ සොයා බලාගැනීමේ චාරිකාවට මම ඔබ ද එක්කර ගතිමි”
උපාලි කියාගෙන යන්නේ චාරිකාවකි. ඔහු සිය පාඨකයා එම චාරිකාවට ජීවමාන ලෙස සහභාගි කරගනී. හරි අපූරු පොතකි. කදිම ලියැවිල්ලකි.
රන්ජන් අමරරත්න
පොත් පුවත්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ දහම් පහන් ටැඹ
නළුවෙල ආනන්ද නාහිමියන්ගේ මතක සටහන් ලෙස නිර්මාණය වූ කෘතියකි. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ කැපකිරීම් පිළිබඳ අපූරු මතක ගෙන ඒමට නිර්මාණය වූවකි.
කර්තෘ- රොඩ්නි විදානපතිරණ
මුද්‍රණය- එස්.ඇන්ඩ්. එස් ප්‍රින්ටර්ස්
මිල- රු. 750කි.
සඳලකර හිරුමඬල
සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ සමාරම්භාක සමුපකාර ග්‍රාමීය බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ මෙරට “සමුපකාර ව්‍යාපාරයේ රජා” ලෙස විරුදාවලියට ලත් ශ්‍රී ධර වින්සන්ට් සුබසිංහයන්ගේ චරිතාපදානයක් ලෙස නිර්මාණය වූ කෘතියකි.
කර්තෘ- ආනන්ද
කරුණාරත්න
මුද්‍රණය – දහම් ප්‍රින්ටර්ස්
මිල- රු.1500කි.
සියාරා දැන් හොඳ ළමයෙක්
කුඩා ළමුන් මූලික කර ගනිමින් නිර්මාණය වූවකි. මෙහි රූප , වචන මෙන්ම වර්ණ සංකලනයද භාවිතා කර ඇත්තේ කුඩා මනසට උචිත වන පදිරිය. කුඩා වූ පිටු ගණනකින් සමන්විත පොත් පිංචකි.
කර්තෘ- ඒ. එම්. විරාණි චතුරිකා සේනාරත්න
ප්රකාශනය – සමයවර්ධය ප්‍රකාශනකි
මිල- රු.100කි.
නිසංසලා කොට්ටගස්වත්ත