Home » ලිවි සැරිය

ලිවි සැරිය

by Gayan Abeykoon
January 30, 2025 1:10 am 0 comment

චිත්‍ර කලාවේ කවි කලාවේ විරෝ­ධ­කා­ල්ප­නි­කයා කොල්වින් සෙට්ටි­නා­යක

කොල්වින් සෙට්ටි­නා­යක අවු­රුදු හැටක පමණ කාල­යක් චිත්‍ර අඳියි. කවි ලියයි. කෙටි­කතා ලියයි. පොත් පිට­ක­වර විචිත්‍ර කරයි. බතික් මෝස්තර නිර්මා­ණය කරයි. පින්තාරු ක්‍රම උග­න්වයි. එහෙත් ඔහු කිසිදු අගැ­යී­මට ලක් නොවීය.  ඔහු ඒ ගැන උනන්දු වන්නේ ද නැත.

1944 දෙසැ­ම්බර් 31 වැනිදා මැදි­යමේ ඔහු උපන් නැකත කලා­ක­රු­වකු උපන් නැක­තක් ලෙස හඳ­හන ලියූ කිසි­වකු කියා ඇද්දැයි දැන­ග­න්නට නැත. සම­හ­ර­විට ග්‍රහ­ය­න්ටත් හොරා ඔහු කලා­ක­රු­වකු කරන නැකත යෙදී තිබෙ­න්නට ඇත.

දකුණු කළු­තර පීඩිත පන්තියේ පවු­ලක ජන්ම ලාභය ලත් ඔහුගේ පර­පුරේ  ඇත්තෝ විචිත්‍ර කැට­ය­ම්ක­රුවෝ වූහ.  ඒ කැට­යම් ශිල්ප ඔහුට කිසි­වකු ඉගැ­න්නුවේ නැත.  ඔහු ඉගෙන ගත්තේද නැත. එහෙත්, විශ්ව­ක­ර්මයා ඔහුට චිත්‍ර කර්මය රහ­සින් උග­න්ව­න්නට ඇත.

එහෙත්, ඔහු මුලින්ම  කළේ නාට්‍ය රච­න­යයි. ඔහු ‘බර­ණැස් සිටු­දුව’ නමින් පිට­ප­තක් ලිව්වේය. අයියා, බෙනට් සෙට්ටි­නා­යක එය නිෂ්පා­ද­නය කළේය. එහි ප්‍රධාන චරි­තය රඟ­පෑවේ එවක හොරණ විද්‍යා­ර­තන විද්‍යා­ය­ත­නයේ ශිෂ්‍ය ධර්ම­සිරි බණ්ඩා­ර­නා­ය­කය. නාට්‍ය කෙරු­වාට ඔහුට ජන්ම­යෙන් නියම කළ කාරිය නොවන බව ඔහුට වැටහී යන්නට ඇත. කළු­තර ඤාණෝ­දය පාස­ලෙන් ද, වැඩි­දුර අධ්‍යා­ප­න­යට විද්‍යා­සාර පිරි­වෙ­ණට ගිය ඔහු, උගැන්ම අව­සන් කළේ පොතු­පි­ටිය මහා විද්‍යා­ල­යෙනි. උගැ­න්මට ඔහු අදි­මදි කළේ චිත්‍ර කලා­වට වඩාත් ලොල්වීම නිසාය.  පාස­ලේ­දී­වත් චිත්‍ර කර්ම ගුරු­ව­රුන් ඔහුගේ හැකි­යාව හෝ කුස­ල­තාව දුටු බවක් දැන­ග­න්නට නැත.  හංස­යන්ට පීන­න්නට කියා­දුන් කෙනෙක් නැත. කුරු­ල්ලන්ට පියා­ඹ­න්නට කියා­දුන් කෙනෙක් ද නැත. කොල්වින්ට චිත්‍ර කලාව කියා­දුන් කෙනෙක්ද නැත. සහජ හැකි­යාව ඇත්තන් එවක ලලිත කලා­ය­ත­න­යට ගියත් ඔහු ඒ ගැන උනන්දු දැක්වූයේ ද නැත.

කොල්වින් සෙට්ටි­නා­යක එදා වගේම අදත් ගැමි කලා­ක­රු­වෙකි. ගැමි කලා­ක­රුවෝ ස්වකීය කලාව කර­නවා මිස වැඩි­දුර හැදෑ­රී­මට උනන්දු නොවෙති.  ප්‍රසි­ද්ධිය පතා යන්නේ ද නැත.

මට ඔහු හමු­වන්නේ ලේක්හ­වුස් ප්‍රබ­ල­යකු වූ එස්මන්ඩ් වික්‍ර­ම­සිංහ මහතා දෙමළ පත්තර  ගැසූ වීර­කේ­ශරී යන්ත්‍රා­ලයේ සිංහල පත්තර ගහ­න්නට පටන් ගත් 1963දී පම­ණය. ප්‍රවීණ පත්‍ර­ක­ලා­වේ­දි­යකු වූ තිස්ස ගුණ­ති­ලක මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් ‘ලස්සන’ නමින් සති අන්ත ටැබ්ලො­යිඩ් පුව­ත්ප­තක මා සේවය කරද්දී කොල්වින් සෙට්ටි­නා­යක නම් කෙසඟ සිරු­රක් ඇති තරු­ණ­යකු මා සොයා ආවේ, චිත්‍ර කිහි­ප­යක් ද රැගෙ­නය. ඔහුගේ ආසාව වූයේ පත්ත­ර­යට චිත්‍ර ඇඳී­ම­ටයි. ඔහු තම චිත්‍ර රෝල දිග­හැර පෙන්නු­වේය. මේවා සිබිල් වෙත්ත­සිංහ ඇඳ­පු­වද? යැයි මම ඇසීමි. ‘නෑ මගේ චිත්‍ර’. මම ඔහුට ලස්සන ළමා පිටුවේ කවි කිහි­ප­යක් දී ඒවාට චිත්‍ර අඳි­න්නැයි කීවෙමි. ‘සිබිල් වෙත්ත­සිංහ වෙස්ව­ළා­ගෙන ඇවි­ත්දැයි’ මට සිතිණි. ඒ ඔහුගේ ළමා චිත්‍රයි. වඩාත් පරි­ණත අත්දැ­කීම් සහිත කාව්‍ය රචනා එක්ක චිත්‍ර සට­හ­නක් ද එක් කිරීමේ අද­හ­සක් මා තුළ පහළ වූයේ කොල්වින්ගේ චිත්‍ර ශෛලිය දුටු විටය.

අපේ විහාර චිත්‍ර­වල සුලබ රේඛා චිත්‍ර­වල එන ප්‍රබ­ල­තාව සහිත ඉතා ක්ෂුද්‍ර චිත්‍ර අඳි­න්නට ඔහු රුසි­යෙකි. එක් රේඛා­වක හැඩ­තල ඔස්සේ පීඩ­නය, ප්‍රමෝ­දය හෝ විර­හව පිළි­බිඹු කිරී­මට ඔහුට පුළු­වන. පත්තර කවි පිටු­ව­කට චිත්‍ර එක්කළ මුල්ම අව­ස්ථාව එය බව මගේ විශ්වා­ස­යයි.

1969 දී ආචාර්ය සුනිල් ආරි­ය­රත්න සිය පළමු නව­ක­තාව ‘ජීවි­තය ගීත­යක් වේවා’ කෘතියේ හැම පරි­ච්ඡේ­ද­ය­කම ආර­ම්භ­යට චිත්‍ර­යක් එක් කිරී­මට යෝජනා කළේය. කොල්වින් සෙට්ටි­නා­යක, ඇතු­ළත චිත්‍ර සට­හන් අපූ­රු­වට නිම කළේය.  පිට­ක­ව­රය නිර්මා­ණය කළේ මහ­ග­ම­සේ­ක­රය. ඉනි­ක්බිති අප සමඟ ලස්සන පත්තරේ වැඩ කළ චින්තන ජය­සේ­නගේ ‘මල් සතක් සේ හිරු නැ‍ඟෙන්නා’ පිට­ක­ව­රය සිත්තම් කළ කොල්වින් 60 දශ­කයේ මා ලියූ කවි පොත, ‘අසි­රි­මත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා’ පිට­ක­ව­රය ද ඇඳ දුන්නේය.

අද වන­විට පොත් පිට­ක­වර කලාවේ නොමැ­කෙන මංස­ල­කුණු තබා සිටින ඔහු බර්ටි බී. කුඩා­හෙ­ට්ටිගේ ‘සින්ඩ­රෙල්ලා’ සහ කෙළී සියෝ­ළඟ දූලි ගාලා – මාගම් තෙන්න­කෝන්ගේ “පිස්ස­කුගේ දින­පොත” – රත්න­පාල විතා­නගේ ‘ලස්සන ලංකා’ සිරි­ලාල් කොඩි­කා­රගේ ‘කණේරු මල්’ සහ ‘ගහෙන් වැටුණු ගැහැ­නිය’ , ශ්‍රී චන්ද්‍ර­රත්න මාන­ව­සිං­හගේ ‘කෝමල රේඛා’(දෙවැනි මුද්‍ර­ණය) කොත්මලේ සිරි­සේ­නගේ “සඳ නිවුණු රාත්‍රිය” සහ “මැදි­යම් රැයක් ගෙවුණු වගයි”, අම­ර­දේව සහ නන්දා මාලි­නීගේ “ශ්‍රවණ ආරා­ධනා” සමරු පිට­ක­ව­රය සහ රත්න ශ්‍රී විජේ­සිං­හගේ “සන්ධ්‍යා තීර්ථ” ඉන් කිහි­ප­යකි. කොල්වින්, නාලන්දා ශිෂ්‍ය පන්සිළු සහ මතු­ම­ධුර කුරු­විට බණ්ඩාර ලියූ ‘අයි­යගෙ කතා­වයි, මල්ලිගෙ කතා­වයි ඇතුළු ළමා පොත් රැස­කට චිත්‍ර ඇඳ ඇත. ඔහුම ලියූ ලන්දු,පිරුණු කළේ, සර­ස්වතී, කුරුලු කැලේ” ළමා කෘති­වල චිත්‍ර නිර්මාණ ද ඔහු­ගේ­මය.

ලස්සන පත්තරේ චිත්‍ර­ව­ලට මා වැටු­පක් ගෙව්වේ නැත. දීම­නා­වක් ගෙව්වේ ද නැත. ඔහුගේ ආශාව ඉටු­කර පොඩි තුටු­ප­ඬු­රක් දුන්නෙමි. ඔහු තුටු සිතින් එය බාර­ග­ත්තේය. ඉනි­ක්බිති ඔහු ‘ඇත්ත’ පත්‍ර­යට සම්බන්ධ විය. එහිදී ඔහුගේ සමී­ප­තම මිතු­රන් වූයේ සාහි­ත්‍ය­වේ­දීන් දෙදෙ­නෙකි. ඒ සයි­මන් නව­ග­ත්තේ­ගම සහ සිරි­ලාල් කොඩි­කා­රයි. සයි­මන්, කොල්වින්ගේ චිත්‍ර­ව­ලට වහ­වැටී තම සුද්දි­ලාගෙ කතාව චිත්‍ර කතා­ව­කට අඳි­න්නට යෝජනා කළේය.  කොල්වින් ඇත්ත පත්ත­රේට සුද්දි­ලාගේ කතාව ඇන්‍‍ඳේ “අයි.ආර්.සී කාරයෝ” නමිනි. සිරි­ලාල් කොඩි­කාර “කණේරු මල්” පිට­ක­ව­රය ද “ගහෙන් වැටුණු ගැහැ­නිය” පිට­ක­ව­රය ද කොල්වින් ලවා අන්ඳවා ගත්තේය. ඇත්ත පත්‍ර­යේත් කර්තෘ මණ්ඩ­ල­යට ඔහු නිල වශ­යෙන් බැඳුණේ නැත. එහිදී ලැබුණු මුදල ද ඔහු  තුටු­ප­හ­ටුව බාර ගත්තේය. ඒ ඔහුගේ හැටිය. එක් අත­කින් සල්ලි පස්සේ නොයෑම හොඳය. එහෙත් අද ආපසු හැරී බල­න­වි­ටත් කොල්වින් සෙට්ටි­නා­යක නිර්ධන පන්ති­යේය.

ඇත්තෙන් පසු ඔහු මහ­වැව, කොස්වා­ඩියේ බුද්ධි කීර්ති­සේ­නගේ ‘බුද්ධි බතික්’ ආය­ත­නයේ චිත්‍ර ශිල්පියා ද කළ­ම­නා­කා­ර­ව­රයා ද විය.  සේවි­කා­වන් රාශි­යක් පාල­නය කළේ ද ඔවුන් පුහුණු කළේ ද ඔහුය. ඒ හැම සේවි­කා­වක්ම පාහේ ‘බඩ­බැ­ඳ­ගෙන’ ‘කොල්වින් සර්ට’ ආද­රය කළේය. ඒ අතර කොල්වින්ට ‘පණ ඇර­ගෙන’ ආද­රය කළ කෙනෙක් ද විය. ඒ චන්ද්‍රාණි අද කොල්වින්ගේ ආද­ර­ණීය බිරිය වී සිටියි. බුද්ධි බතික් ආය­ත­නයේ ඇඳුම් මෝස්තර ශිල්පි­යාව සිටි මංගල සම­ර­වීර ද කොල්වින් ඇම­තුවේ ‘කොල්වින් සර්’ කියායි. ඒ මිතුරා මොන ඇමැ­ති­කම් කළත් ඔහු කිසි­දාක ඔහු හෝ වෙනත් බල­ව­තකු හමුවී කිසි­දාක කිසි­වක් ලබා­ගත් කෙනෙක් නොවේ. ඔහු මේ වන­විට චිත්‍ර ප්‍රද­ර්ශන 7ක් පවත්වා ඇත. කොළඹ සමුද්‍ර ගැල­රියේ පළමු ප්‍රද­ර්ශ­නය විවෘත කළේ මහ­ග­ම­සේ­ක­රය. සමුද්‍ර ගැල­රි­යේම දෙවැනි ප්‍රද­ර්ශ­නය විවෘත කළේ පණ්ඩිත් අම­ර­දේ­වයි.  ලය­නල් වෙන්ට්හී ප්‍රද­ර්ශ­නය විවෘත කළේ විශා­රද නන්දා මාලි­නීය. කොළඹ කලා භවනේ එක් ප්‍රද­ර්ශ­න­යක් විවෘත කළේ ආචාර්ය ප්‍රේම­සිරි කේම­දා­සය. තවත් ප්‍රද­ර්ශන ගණ­නා­වක් පැවැත්වූ ඔහු 1980 දී ජාතික ශිල්ප සභාවේ අනු­ග්‍ර­හ­යෙන් සිංග­ප්පූ­රු­වේදී ද ප්‍රද­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට භාග්‍යය ලැබු­වේය.

ඔහුට ජන වහර ඇසු­රින් තනා­ගත් ව්‍යාංජන ශක්ති­යෙන් අනූන භාෂා­වක් තිබේ. ඔහුගේ හැම නිර්මා­ණ­ය­ක­ටම පාහේ වස්තු­වි­ෂය වූයේ ඔහුගේ  හාත්පස දිළිඳු සමා­ජ­යයි.

මම අද ඉස්කෝලෙ ගියේ

කහට වතුර ටිකක් බීලා

පොත පාඩම් දෙන වෙලාවෙ

මට බඩ­සා­ගිනි දැනුණා

ඒ වෙලාවෙ මට

මගේ අම්මා මතක් වුණා

මට වගේම අම්මා­ටත්

බඩ­සා­ගිනි දැනෙ­නවා ඇති

පයි­ප්ප­යෙන් වතුර බිබී

ඇය පොල්ලෙලි තළ­නව ඇති

ඉස්කෝලෙ ඇරුණු ගමන්

එගො­ඩ­වෙලා ඒද­ණ්ඩෙන්

නියර දිගේ දුවලා දුවලා

හති වැටි­ලයි ගෙදර ආවෙ

හති වැටි­ලයි කඩුල්ල උඩ

මං ඉඳ­ගත්තේ

අම්මා බත් උයලා තිබුණ

අම්මා උයන පිහින  කෑම

හරිම හරි රහයි.

ඔහු ලියූ “ලන්දු ,කුරුලු කැලේ, පිරුණු කළේ, සර­ස්වතී” ඔහුගේ මන­රම් පද­ව­ලින් ද, සිත්ගන්නා සිතු­ව­මින් ද අලං­කාර වී තිබේ. ඔහු ලියූ ගීත රච­නා­වල ද ඇත්තේ සුන්ද­ර­ත්ව­යකි.

 

අඹ මල් විය­නට

බඹ­රුන් ඇවි­දින්

සුව­ඳයි ගහ ගාව

මගෙ පෙම් උය­නට

සොඳු­රිය ඇවි­දින්

සිසි­ලයි මා ගාව

වැට­කොටු අවුරා

නව­තා­ලනු බෑ

ගලනා ගංඟාව

වක්කඩ කැඩුවා

වාගෙයි සෙනෙ­හස

උතු­රන ලීලාව

ඇස නොගැහී හිත

වාවනු බැරුවා

උස්මි­ටි­කම් ආද­රය මෙත­රම්

ඇයි මේ කෙණෙ­හි­ලි­කම්

කන්ද උඩින් හඳ­පාන සිනා­සෙයි

මුව කම­ලක් සේම

දෝතට ගත් මල්

කෝමල අසි­රිය

මදි නොවැ හැම­දාම

සිරිල් බී.පෙරේරා, කොල්වින්ගේ චිත්‍ර අර­බයා ඔහු හැඳි­න්වූවේ ‘විරෝ­ධ­කා­ල්ප­නි­කයා’ යනු­වෙනි. චිත්‍ර අන්ත­ර්ග­තය එසේ වුවත් කොල්වින්ගේ ක්‍රියා­ක­ලා­පය එසේ නොවේ. එදා භද්‍ර යෞව­න­යේදී ද ඔහු සන්සුන්ය. විනී­තය. ඔහු දුර­දිග බලා තම කලා ජීවි­ත­ය­ටත් දෛනික ජීවි­ත­ය­ටත් උප­කාරී වන ලීලා චන්ද්‍රාණි කර­කාර බැඳ ගත්තේය. ඇය පණ සේ කොල්වින් රැක­බලා ගනී. ‘දමිත ප්‍රබෝධ, මුදිත උදාර’ පුත්තු පිය සෙනෙ­හ­සින් පියා වෙනු­වෙන් කැපවී සිටිති.  ‘ලන්දු, නෙත්, පවන්’ ඊළඟ පර­පු­රද කලා­වට ලැදිය. කලා­කාර සීයාට ද ළැදිය.

කිසි­වකු සුවඳ ඉල්ලු­වත් නැතත් මල සුවඳ විහි­ද­න්නාක් මෙන් කොල්වින් තව­මත් ලියයි. අඳියි. තුටු සිතින් දිවි ගෙවයි. ‘එන්න යන්න මාත් එක්ක’ නව­ක­තාව  ඔහුගේ තෘප්ති­මත් ජීවි­තයේ දෝංකා­ර­යයි.

තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර


 

අපූරු පොතකි!  කදිම ලියැ­වි­ල්ලකි

කතු­ව­රයා සිය පාඨක සමූ­හයා ද කැටුව චාරි­කා­වක නිරත වෙති. එක අතෙ­කින් එය ගෞර­ව­නීය වන්දනා ගම­නකි. තව අතෙ­කින් එය ආස්වා­ද­යෙන් පිරි අධ්‍ය­යන චාරි­කා­වෙකි.

(King Soloman’s mines) “සොල­මන් රජුගේ බිම්ගෙ­වල්” නම් ජන­ප්‍රිය ඓති­හා­සික නව­ක­තාව රචනා වන්නේ එක්ද­හස් අට­සිය ගණ­න්ව­ලය. එහෙත් එම නව­ක­තා­වට අදත් වෙළෙ­ඳ­පොළ වටි­නා­ක­මක් තිබේ. එය වික්‍ර­මා­න්විත ක්‍රියා­ව­ලින් සම­න්විත අද්භූත සිදු­වී­ම්ව­ලින් ගහන කුතු­හ­ලය අවු­ස්ස­න­සුලු ප්‍රබ­න්ධ­යක් ලෙස විචා­රක – පාඨක අව­ධා­න­යට ලක් වී ඇත.  රච­කයා රයි­ඩර් හැගාර්ඩ් ය. අප්‍රි­කානු මහා­ද්වී­ප­යට අයත් හුදෙ­කලා කඳු­ගැ­ට­යක් වූ සොලො­මාන් ශිඛ­රය පාදක කොට ප්‍රබ­න්ධය රචනා වී ඇත. මේ නව­ක­තාව පාද­ක­කොට නිෂ්පා­ද­නය වූ චිත්‍ර­පට ගණන හතකි. රූප­වා­හිනී වැඩ­ස­ට­හන් ප්‍රමා­ණය සිය ගණ­නකි. ඒ සෑම ප්‍රය­ත්න­යක් ම එක සේ ජන­ප්‍රිය වෙයි.

අප්‍රි­කානු ගෝත්‍රික ජන කණ්ඩා­යම් අතර මේ කන්ද හා කන්දට අධි­ගෘ­හිත දෙවි­යන් ගැන ජන­කතා රාශි­යක් පවතී. සෑම කතා­වක්ම කුතු­හ­ලය අවු­ස්ස­න­සුලු රස­බර හා අද්භූ­ත­ජ­නක සිදු­වී­ම්ව­ලින් ගහ­නය. හැගාර්ඩ් සිය නව­ක­තාව රචනා කරන්නේ එම කතා­න්දර පරෙ­ස්ස­මෙන් හැදෑ­රී­මෙන් පසු­වය. ජන­කතා හැදෑ­රීම සංස්කෘ­තික අධ්‍ය­ය­නයේ කොට­සකි. ඇතැම් රාජ්‍ය­යන් මේ සඳහා වෙන ම ආය­තන පව­ත්වා­ගෙන යයි. ජන­කතා අධ්‍ය­ය­නය දැනුම සොයා යෑමක් ලෙස සල­කනු ලැබේ. කල­කට පෙර අපේ සංස්කෘ­තික අමා­ත්‍යාංශ‍ය ජන­කවි අධ්‍ය­ය­නය සඳහා ව්‍යාපෘති ගණ­නා­වක් ක්‍රියා­ත්මක කළේය. ඉන්  එක ව්‍යාපෘ­ති­යක් වූයේ ජන­කවි ඒක­රාශී කිරී­මය. එය වටිනා සාංස්කෘ­තික මෙහෙ­ව­රක් වූ අතර, අද එබඳු වැඩ­ස­ට­හන් දකි­න්නට නැත.

උපාලි සම­ර­සිංහ

උපාලි සම­ර­සිංහ

අපට  හදි­සියේ ම ජන­ශ්‍රැති ගැන සිහි­පත් වූයේ උපාලි  සම­ර­සිං­හගේ අභි­නව ග්‍රන්ථය කියැ­වී­මෙන් පසු­වයි. එය හඳුන්වා ඇත්තේ “සම­නොළ අඩ­වියේ අසි­රි­මත් කත­න්දර” යනු­වෙන් ය. අපේ ජන­ශ්‍රැති අධ්‍ය­ය­නය කරන විද්‍යා­ර්ථි­ය­කුට සේම රස­බර කතා­න්දර සොයන කෙන­කු­ටද එක සේ වැද­ගත් වන මේ කෘතිය අභි­රු­චි­ය­කින් පරි­හ­ර­ණය කළ හැකි ශාස්ත්‍රීය කට­යු­ත්තක් සේ හඳුන්වා දෙන්නට කැමැ­ත්තෙමු.

කෘති­යට අදාළ පසු­ව­දන සපයා ඇති මහා­චාර්ය ටෙනි­සන් පෙරේරා මහතා උපාලි සම­ර­සිං­හගේ පරි­ශ්‍ර­මය බෙහෙ­වින් අගය කර තිබේ.  “මේ පොත කිය­වා­ගෙන යන විට ශ්‍රී පාදය හා ඒ අවට පරි­ස­රය ගැන පම­ණක් නොව; එම ප්‍රදේ­ශයේ ජීවත් වූ සත්ත්ව වර්ගයා ගැන ද තොර­තුරු උක­හා­ගත හැකිය. උපාලි සම­ර­සිංහ මහතා ඉහත කී තොර­තුරු හා කතා­න්දර පාඨ­කයා වෙත සමීප කර ඇත්තේ කුතු­හ­ලය දන­වන ආකා­ර­යෙන්ය.”

(පසු­ව­දන – සම්මා­නිත මහා­චාර්ය බී.ඒ. ටෙනි­සන් පෙරේරා, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය)

උපාලි සම­ර­සිංහ යනු අපේ සිංහල පුව­ත්පත් කලාවේ රස­බර හා අර්ථ­වත් කතා ගොත­න්නෙකි. එමෙන්ම ජන­ප්‍රිය විශේ­ෂාංග රච­ක­යෙකි. ඉරිදා සිංහල පුව­ත්ප­ත්ව­ලට විවිධ – විචිත්‍ර විශේ­ෂාංග රචනා කර­මින් නමක් තබා ඇති උපා­ලිට ඇත්තේ අපූරු රචනා විලා­ස­යෙකි. ඔහු සිය නිර්මාණ ඔස්සේ සනාථ කර ඇත්තේ සජීවී නිරූ­පණ සහිත පුව­ත්පත් ලිපිය ඉලෙ­ක්ට්‍රො­නික නිර්මා­ණ­ය­කට වඩා ශක්ති­මත් බවය. මේ අනුව උපා­ලිට විශාල රසික සමූ­හ­යක් සිටිති.

මේ කෘති­යට පෙර­ව­ද­නක් සප­යන දම්ප­හළ සීලා­නන්ද හිමියෝ උපා­ලිගේ ශාස්ත්‍රීය මෙහෙ­වර සම්බ­න්ධ­යෙන් මෙබඳු සට­හ­නක් තබති.

“සම­නොළ අඩ­වියේ අසි­රි­මත් කත­න්දර” තුළ අන්ත­ර්ගත ඇතැම් ‍තොරතුරු දුර්ල­භය. විටෙක ඒවා අප සිත් ත්‍රාස­යෙ­නුත්, භීති­යෙ­නුත්, කුතු­හ­ල­යෙ­නුත් සසල කර­වයි”

“මේ පොත පළ කිරී­මේදී අන­ලස්ව වෙහෙසී ජන­කතා රැස්කර ඇත්තේ දීර්ඝ කාල­යක් තිස්සේය. එම කතා සමඟ විදේශ සංචා­ර­ක­යන්ගේ අත්දැ­කීම් අනා­ව­රණ වාර්තා ද එක් තැනෙක සට­හන් කර තැබීම නිසා මේ විෂය කෙරෙහි උන­න්දු­වක් දක්වන කාගේ වුවද පැස­සුම කතු­ව­රයා වෙත පිදෙයි.”

(පෙර­ව­දන – පිටුව – 10)

දම්ප­හළ සීලා­නන්ද නායක හිමි­යන් රත්න­පුර සුධ­ර්ම­ශාලා පිරි­වෙ­නෙහි පිරි­වෙ­න්පති ලෙසද ශ්‍රී පාද­ස්ථා­නය භාර­කාර හිමි­යන් ලෙස ද වසර විසි­ප­හ­කට වැඩි කාල­යක් රාජ­කාරි කර ඇත. ශ්‍රී පාදය සිද්ධ­ස්ථා­නය පිළි­බඳ උන්ව­හ­න්සේගේ දැනුම හා අත්දැ­කීම මෙප­ම­ණකැ’යි කියා අව­සන් කළ නොහැ­කිය. එබඳු මහ පඬි­වරු පවා “සම­නොළ අඩ­වියේ අසි­රි­මත් කත­න්දර” පොත අගය කරති. ඉන් සනාථ වන්නේ උපාලි සිය පර්යේ­ෂණ කෘතිය ඉතා සැලැ­කි­ල්ලෙන් හා අව­බෝ­ධ­ය­කින් යුතුව පරෙ­ස්ස­මට සිදු­කර ඇති බවය.

මෙබඳු කෘති­යක් සම්පා­ද­නය කිරී­මේදී මනා ශික්ෂ­ණ­ය­කින් මෙන්ම උපා­ය­ශී­ලිව ද කට­යුතු කර­න්නට ලේඛ­ක­ය­කුට සිදු­වනු ඇත. එය බර­ප­තළ වග­වී­මකි. මූලාශ්‍ර ලෙස මානව ජීවිත භාවිත කිරීම් පහසු නැත. විශේ­ෂ­යෙන් කතු­ව­රයා මූලාශ්‍ර ලෙස භාවිත කරන යෝගා­ශ්‍රම හිමි­ව­රුන් මෙන්ම අප්‍ර­කට පුද්ග­ල­යන් ද ප්‍රසි­ද්ධි­යට කැමැති නැත. එබඳු භූමි­කා­වන් මූලාශ්‍ර ලෙස ගනි­මින් පොතක් පළ කිරීමේ දී නැවත – නැවත කරුණු විමැ­සීමේ අව­ස්ථාව ලේඛ­ක­යාට අහිමි වෙයි. ඇතැම් විට පොතක් පළ කිරීම සඳහා තමන්ගේ නම භාවිත කිරී­මට සම­හ­රුන් විරුද්ධ වන්න­ටත් පුළු­වන. උපාලි එම අභි­යෝ­ග­යට මුහුණ දුන් බව මා සමඟ පවසා ඇත. එහෙත් ඉව­සී­මෙන් හා උපා­ය­ශී­ලිව කට­යුතු කිරී­මෙන් තම අර­මුණු ජය ගන්නට ඔහු සමත් වී ඇත.  ගවේ­ෂ­ණ­ශීලි පත්‍ර­ක­ලා­වේ­දි­යකු හැටි­යට ඔහු ලබා ඇති පුහු­ණුව හා ශික්ෂ­ණය මෙහිදී නිසි ලෙසින් ප්‍රයෝ­ජ­න­යට ගෙන ඇති බව පෙනෙයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳු­ක­ර­යට අයත් අධි ජල ‍‍පෝෂක කලා­ප­යක් වූ ශ්‍රීපාද අඩ­විය තරම් කතා­බ­හට ලක් වූ වෙනත් කඳු­ගැ­ට­යක් රටේ නැත. එය භූගෝ­ලීය වශ­යෙන් මෙන්ම සංස්කෘ­තික වශ­යෙන් ද ශ්‍රී ලංකාවේ ඇති වැද­ගත්ම උස්බිම සේ සැලැ­කිය හැකිය. මේ නිසාම සම­නොළ අඩ­විය පිළි­බඳ පොදු ජන විශ්වාස – ඇද­හිලි – වන්ද­නීය තත්ත්ව­යන් ඉහ­ළින් ම සට­හන් වී ඇත. අද­ටත් මේ උස්බිම ආශ්‍ර­යෙන් සොයා නොගත් භූ – කලාප හා පූජ­නීය ස්ථාන ගැන වග විස්තර සබ­ර­ග­මුව පළාත තුළ පවතී. උපාලි සම­ර­සිංහ කතු­ව­රයා ඒ සියල්ල කෙරෙහි සිය පර්යේ­ෂණ ඇස යොමු­කොට තෝරා­ගත් ස්ථාන සමඟ ආරම්භ වූ ජන­කතා ද දක්ව­මින් සිය කෘතිය සම්පා­ද­නය කර තිබේ.

සමන් දෙවි­යන්ගේ අඩ­වියේ හාස්කම් ස්වභා­ව­ධ­ර්මයේ දඬු­වම්, සිල්වත් ස්වාමීන් වහ­න්සේලා පිළි­බඳ තොර­තුරු හා උපා­ස­ක­යන් පිළි­බඳ කතා­න්දර ද රස­වත් ලෙස නිරූ­ප­ණය කරයි. මෙහිලා ඔහුගේ ප්‍රතිභා ගුණය හොඳින් ම ප්‍රයෝ­ජ­න­යට ගෙන තිබේ. කතා­ව­කින් – කතා­ව­කට ඔහුගේ ආඛ්‍යාන ක්‍රම වෙනස්ය. පාඨ­කයා වෙහෙ­සට පත් නොකොට ඔවු­නට විස්මය දැන­වීම සඳහා විවිධ ශිල්පීය උපාය මාර්ග කතු­ව­රයා විසින් අනු­ග­ම­නය කරනු ලැබේ.

මේ කෘතියේ රසා­ලිප්ත වර්ණනා හා අපූරු නිරූ­පණ ගෙන­හැර දැක්වීම සඳහා ආරම්භ ඡේද­යෙන් කොට­සක් උපුටා දැක්වීම වැද­ගත්ය.  “නටන මොන­රු­න්ගෙන් හා දුව පනින මුව පොව්ව­න්ගෙන්, ගෝණ, සා, මීමි­න්න­න්ගෙන් පිරි මේ මහා වනය සුන්ද­රය. සදා­හ­රිත වන වදු­ලෙන් හා තුරු­ල­තා­වෙන් සෝබ­මාන මේ වන පෙදෙස තුළ සැඟව ඇති බොහෝ රම­ණීය තැන් තව­මත් මිනිස් ඇසට මුළු­ම­නින් ම හසු නොවුණු බව සත්‍ය­යකි. කුරු අලින්ගේ කුංච­නා­ද­යත් මුවන්ගේ කොව් ගැහි­ල්ලත්, රිලා – වඳු­රන්ගේ බුකු – බුකු­වත් නිතර ඇහෙන සිරිපා කන්දේ ඇතු­ළත වන්ද­නා­ක­රු­වන් මාර්ග­ව­ලට එපි­ටින් ගුප්ත හා විස්කම් දේ සොයා බලා­ගැ­නීමේ චාරි­කා­වට මම ඔබ ද එක්කර ගතිමි”

උපාලි කියා­ගෙන යන්නේ චාරි­කා­වකි. ඔහු සිය පාඨ­කයා එම චාරි­කා­වට ජීව­මාන ලෙස සහ­භාගි කර­ගනී. හරි අපූරු පොතකි. කදිම ලියැ­වි­ල්ලකි.

 

රන්ජන් අම­ර­රත්න


පොත් පුවත්

ඉන්දි­යාවේ මහා­රා­ෂ්ට්‍රයේ දහම් පහන් ටැඹ

 

නළු­වෙල ආනන්ද නාහි­මි­යන්ගේ මතක සට­හන් ලෙස නිර්මා­ණය වූ කෘති­යකි. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහ­න්සේ­ලාගේ කැප­කි­රීම් පිළි­බඳ අපූරු මතක ගෙන ඒමට නිර්මා­ණය වූවකි.

කර්තෘ- රොඩ්නි විදා­න­ප­ති­රණ

මුද්‍ර­ණය- එස්.ඇන්ඩ්. එස් ප්‍රින්ටර්ස්

මිල- රු. 750කි.

 

සඳ­ල­කර හිරු­ම­ඬල

සඳ­ලංකා සමුප­කාර ව්‍යාපා­රයේ සමා­ර­ම්භාක සමු­ප­කාර ග්‍රාමීය බැංකු ව්‍යාපා­රයේ නිර්මාතෘ මෙරට “සමු­ප­කාර ව්‍යාපා­රයේ රජා” ලෙස විරු­දා­ව­ලි­යට ලත් ශ්‍රී ධර වින්සන්ට් සුබ­සිං­හ­යන්ගේ චරි­තා­ප­දා­න­යක් ලෙස නිර්මා­ණය වූ කෘති­යකි.

කර්තෘ- ආනන්ද
කරු­ණා­රත්න

මුද්‍ර­ණය – දහම් ප්‍රින්ටර්ස්

මිල- රු.1500කි.

 

 

සියාරා දැන් හොඳ ළම­යෙක්

කුඩා ළමුන් මූලික කර ගනි­මින් නිර්මා­ණය වූවකි. මෙහි රූප , වචන මෙන්ම වර්ණ සංක­ල­න­යද භාවිතා කර ඇත්තේ කුඩා මන­සට උචිත වන පදි­රිය. කුඩා වූ පිටු ගණ­න­කින් සම­න්විත පොත් පිංචකි.

කර්තෘ- ඒ. එම්. විරාණි චතු­රිකා සේනා­රත්න

ප්‍රකා­ශ­නය – සම­ය­ව­ර්ධය ප්‍රකා­ශ­නකි

මිල- රු.100කි.

නිසංසලා කොට්ටගස්වත්ත

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT