වර්තමානයේ මෙරටේ සමාජ, ආර්ථික හා දේශපාලන වාතාවරණය පිළිබඳවත්, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා සූදානම් කරන්නේ කෙසේද යන්නත්, ආදී කරුණු කාරණා පිළිබඳව මෙරට වාමාංශික දේශපාලන කඳවුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
මෙරට ඉතිහාසයේ පළමු වරට වාමාංශික දේශපාලන පක්ෂයක් මූලික කර ගත් ආණ්ඩුවක් මහජන ඡන්දයෙන් බලය ලබාගෙන තිබෙනවා. මේ ජයග්‍රහණය පිළිබඳව ඔබේ අදහස කුමක් ද ?
ඇත්තෙන්ම මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව සතුටුයි. මෙරට දේශපාලන ඉතිහාසයේ විශාල පිම්මක් විදිහට මෙම ජයග්‍රහණය හඳුන්වා දෙන්න පුළුවන්. මෙය මෙරට වාමාංශික දේශපාලනය තුළ ලොකු පිම්මක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. අද මේ ආණ්ඩුව වාමාංශයට නැඹුරුව හොඳ ගමනක් යන බව පැහැදිලි වෙමින් තිබෙනවා.
අද මේ ආණ්ඩුවට විරුද්ධව සිටින අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් තමයි විවිධ ආකාරයේ චෝදනා එල්ල කරන්නේ. අද බොහෝ ප්‍රධාන කරුණුවලින් ආණ්ඩුව සාර්ථකත්වයක් ලබා තිබෙනවා. අද ප්රශ්නකාරි ලෙස මතුව තිබෙන්නේ සිල්ලර කරුණු. පොල් මිල, සහල් ප්‍රශ්න වගේ සිල්ලර කරුණු අල්ලාගෙන ආණ්ඩුවට විරුද්ධව මතයක් නිර්මාණය කරන්නයි උත්සාහ කරන්නේ.
ඒ නිසා ආණ්ඩුව මේ ගැන කල්පනාකාරීව වැඩ කළ යුතුව තිබෙනවා. මේ තත්ත්වය වළක්වන්න කළ හැකි උපක්‍රමශීලී ප්‍රවේශ අනුගමනය කළ යුතුයි. සහල් පොල් වැනි අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශය තුළ රඳවා ගත හැකියි. එම බෙදා හැරීම් ජාලය ශක්තිමත් කිරීම කළ යුතුයි. ඒ වගේම සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය භාණ්ඩ යම් ප්‍රමාණයක් සලාක ක්‍රමයක් තුළ ලබා දීම කළ යුතුයි. ඇත්තෙන්ම අද තත්ත්වය බලද්දී ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රමානුකූලව තම කාර්යභාරය ඉෂ්ට කරමින් සිටිනවා. ආණ්ඩුව වමට බර ආණ්ඩුවක් විදිහට තිරසර වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙනෙනවා. මෙම ආණ්ඩුව තමන් වෙත ලැබුණ වගකීම තේරුම් ගෙන කටයුතු කරන බවක් පෙනෙනවා. මෙම ආණ්ඩුව පත්වීම සඳහා ජනතා වරමක් ලැබීම පමණක් වුවත් පෙරළිකාර තත්ත්වයක්, තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු බලයක් ලැබිලා තිබෙනවා. මේ සියලු ජයග්‍රහණ ජනතාවට යහපත් දේවල් සඳහා යොදවා ගැනීම තමයි දැන් කළ යුත්තේ. දක්ෂිණාංශික සුළුතරය උත්සාහ කරනවා මේ ආණ්ඩුවේ ගමන කඩාකප්පල් කරන්න. ඒත්, මෙරට බහුතරයක් ජනතාව මේ අවස්ථාවේ අපේක්ෂා කරන්නේ රටට යහපතක් මිසක් පටු දේශපාලනය නොවෙයි.
ඒත්, මේ ආණ්ඩුව වාමාංශික බව සඳහන් කළත්, එය වචනයට පමණක් සීමා වූවක් පමණක්ය කියලා සමහරු අදහස් පළ කරනවා ?
ඒ අදහස මතු කරන්නෙත් අද රටේ ඉතිරි වෙලා ඉන්න අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසිනුයි. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව කුමන ක්‍රමයකින් හෝ කඩාකප්පල් කිරීමයි. ලතින් අමෙරිකාව තුළ මේ විදිහේ ආණ්ඩු රාශියක් බිහි වුණා. ඔවුන් කලක් කැරලිකාර ලෙස වැඩ කර සන්නද්ධ විප්ලවය විශ්වාස කර පසුව ප්රජාතන්ත්රවාදී මැතිවරණ මඟින් බලය ලබා ගත්තා. අපේ රටෙත් අද තිබෙන්නේ එවැනි තත්ත්වයක්. අද මේ ආණ්ඩුව යම්කිසි මැදහත් ප්රතිපත්තියකයි කටයුතු කරන්නේ. ඒ ක්‍රමය තුළ දක්ෂිණාංශය ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ. ඒත් උපක්‍රමශීලී ලෙස ඔවුන් දේශපාලන ක්‍රම තෝරා ගෙන වැඩ කරන බවක් පෙනෙනවා.
රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම මෙම ආණ්ඩුව විසින් සිදු කරනු ලබනවා.
ඇත්තෙන්ම අපට රටක් විදිහට ඉදිරියට යන්න ජාතික සැලසුමක් අවශ්‍ය කරනවා. ඒ ආකාරයේ ජාතික සැලසුමක් අනුව මේ ආණ්ඩුව ගමන් කරන ආකාරයක් අපට දැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. අපි යෝජනා කරනු ලබන්නේ මහා පරිමාණ ව්‍යවසායකයන් තව තවත් ශක්තිමත් කරන්න කියලා නොවෙයි. ඔවුන් සිදු කරනු ලබන්නේ අපේ ජාතික මුදල් සහ විනිමය රටෙන් ඉවතට යැවීම පමණයි.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ණය ලබාදීමේ දී ණය නොගෙව්වොත් දේපළ පවරා ගැනීමේ නීතියක් තිබෙනවා පරාටේ නීතිය කියලා. මේ ආණ්ඩුව ඒ නීතිය මාර්තු මාසය වන තෙක් නතර කර තිබෙනවා. ඒත්, මේ නීතිය ස්ථිර ලෙසම වෙනස් කළ යුතුයි. එහෙම කළොත් තමයි මෙරට තුළ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් බවට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ.
ඇත්තෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට මේ ආණ්ඩුවට පමණයි හැකියාව තිබෙන්නේ. ඒ සඳහා වූ අපේක්ෂා සහ බලාපොරොත්තු සහිතවයි මේ ආණ්ඩුව වෙත ජනතා වරම ලැබී තිබෙන්නේ. මේ සියලු කරුණු සලකා බලද්දී වර්තමාන ආණ්ඩුව තුළ ප්රගතිශීලී සහ වාමාංශික ලක්ෂණ තිබෙනවා. ලතින් අමෙරිකාව තුළ මෙවැනි ආණ්ඩු විශාල සේවයක් ඉටු කළ අවස්ථා තිබෙනවා. වර්තමාන තත්ත්වය තුළ පැරැණි සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය කරන්න බැහැ. අදට ගැළපෙන විදිහට වාමාංශික දේශපාලනය ද වෙනස් විය යුතුයි. ඒ විදිහට වෙනස් වීම තුළ තමයි ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලබාගැනීමට හැකියාව ලැබුණේ.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමේදී සඳහන් කළ ප්‍රධාන කරුණක් වූයේ දූෂණය පිටුදැකීම, හොරු ඇල්ලීම ඉක්මන් කරන බවත්, වැරැදිකරුවන් වෙත ඉක්මනින් දඬුවම් පමුණුවන බවත් ආණ්ඩුව ලබාදුන් ඒ පොරොන්දු ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද ?
හොරු අල්ලන එක හොඳයිනෙ. දූෂිතයන් අල්ලා ගැනීම, වැරැදිකරුවන් සොයා දඬුවම් කිරීම නරකයි කියලා කාටවත් කියන්න බැහැ. ඇත්තෙන්ම ඒක වෙන්න ඕනෑ දෙයක් විදිහටයි අපි සලකන්නේ. ඒත්, මේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරද්දී කළ යුතු දේ වන්නේ වඩාත් ස්වාධීන සහ නිදහස් විදිහට වැඩ කිරීමයි. කෙනෙකු ඉලක්ක කර හෝ කණ්ඩායමක් පමණක් ඉලක්කගතව වැඩ කිරීම නුසුදුසුයි. ඇත්ත වැරැදිකරුවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා නීතියට බලපෑමක් නොකර ස්වාධීනව වැඩ කළ යුතුයි. වැරැද්ද කළේ තමන්ගෙ පක්ෂයේ කෙනෙක්ද වෙන පක්ෂයක කෙනෙක්ද යන්න සොයා බලනවාට වඩා කළ යුතුව තිබෙන්නේ, වරද කුමක්ද යන්න සොයා බලා කටයුතු කිරීමයි. මෙතෙක් කල් රටේ ඒ දේ සිදු වුණේ නැහැ, ඒ නිසා හොරු ඇල්ලීම, දූෂිතයන් ඇල්ලීම මේ ආණ්ඩුව හෝ හරියට කරයි කියලා අපි විශ්වාස කරනවා.
ඒත්, සමහරු කියන්නේ හොරු ඇල්ලීම, නඩු දැමීම පලි ගැනීම් කියලයි ?
එහෙම නිකම් කියලා වැඩක් නැහැ. සාධක ඇතිව පෙන්වා දෙන්න ඕනෑ. නැතිව අපෙන් පලි ගන්නවා කියලා කීවට මිනිස්සු ඒ දේ පිළිගන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දේ පිළිබඳ පරීක්ෂණ නිසි විදිහටත් ස්වාධීනව කිරීමටත් අවස්ථාව ලබාදිය යුතුයි. පක්ෂය කුමක් වුවත්, යාළුවෙක් වුණත්, යාළුවෙක් නොවුණත් වැරැදි නම් වැරැද්දක් කර තිබෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි. ඒත්, නිවැරැදිකරුවකු නිවැරැද්දේ වැරැදිකරුවකු කරනවා නම්, ඒක වැරැදියි. ඇත්තටම හොරකම් කළ අය ඇත්තටම දූෂණවල වංචාවල නියැළුණ අය අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම කළ යුත්තක්.
ඔබේ දේශපාලන මිත්‍ර කඳවුර සමඟ එදා තිබූ සම්බන්ධතා අදත් ඒ විදිහටම තිබෙනවාද ?
අපි දේශපාලනය කරන්නේ පුද්ගලික වාසි සඳහා නොවෙයි. පුද්ගලික මිත්‍රත්වයන් නිසාත් නොවෙයි. ඇත්තෙන්ම මිත්‍රත්වය කියන්නේ එකක්. දේශපාලනය කියන්නේ තවත් එකක්. අප කවදාවත් ඒ දේ පටලවා ගත යුතු නැහැ.
අපි මුලින් සලකා බැලුවා දිලිත් ජයවීර මහතා සමඟ එක්ව දේශපාලන සන්ධානයකට එකතු වෙන්න. ඒත්, පසුව අපි ඒ අදහස අතහැර දැමුවා. ඒත්, අපේ පැරැණි දේශපාලන සන්ධානය වන උත්තර ලංකා සභාගය සමඟ අපි තවමත් සිටිනවා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය මේ සන්ධානය නියෝජනය කරනු ලබනවා. අප මේ සන්ධානය තුළ සිටියත් පසුගිය මහමැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ විදිහට රට පුරා දිස්ත්‍රික්ක ගණනාවකට තරග කළා. අපට එහිදී පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබුණත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. අපට මහනුවර වැනි දිස්ත්‍රික්කයක ඡන්ද දසදහසකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. එයින් පැහැදිලි වෙනවා ජනතාව අතර අප පක්ෂයට යම් පදනමක් තිබෙන බව. ආකර්ෂණීය අපේක්ෂකයන් දැම්මොත් තවදුරටත් අපේ පක්ෂයට ශක්තිමත් වීමට හොඳ ඉඩක් තිබෙනවා.
ඔබ අලුත් ආකර්ෂණීය අපේක්ෂකයෝ ගැන කතා කළා. පසුගිය ජනාධිපතිවරණයට පෙර ඔබේ පක්ෂයත් තරුණ නායකයකු වෙත භාර දුන් බවට කියවුණා. පසුව ඒක එහෙම නොවන බව පක්ෂය පැත්තෙන් කියවුණා. ඇත්තෙන්ම මේ තත්ත්වය කුමක්ද ?
ඒ අදහස තුළ තිබුණේ පටලවා ගැනීමක්. අපි තීන්දු කළේ, පක්ෂ නායකත්වය වෙනස් කරන්න නොවෙයි. පක්ෂයේ මහජන සබඳතා අංශය සහ ජනතාව සමඟ කටයුතු කරනු ලබන අංශය මහජන සබඳතා පිළිබඳ හොඳ අත්දැකීම් තිබෙන, ව්‍යවසායකත්වය පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙකු වෙත භාර දීමටයි. ඒත්, ඒ දේ තුළ වටහා ගැනීමේ දුර්වලතාවක් තිබුණා. අපි පත් කළ නව පත්වීම්ලාභියා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩවෙලා අපේ පක්ෂයට ආයුබෝවන් කීවා.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට සහ ජයග්‍රහණ ලබාගැනීමට ඇති කර ගෙන තිබෙන්නේ කුමන ආකාරයේ සැලසුම්ද ?
අපේ ඉලක්කය බවට පත්ව තිබෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයයි. ඒ මැතිවරණයට තරග කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ අපේක්ෂකයන් තොරා ගනිමින් තිබෙන්නේ. අපට සෑම පළාත් පාලන ආයතනයකම සභික ධුරයක්, දෙකක් හෝ තුනක් දිනා ගැනීමටත් එමඟින් ආණ්ඩු පක්ෂයට අවශ්‍ය බලපෑම කිරීමත් තමයි අපේ සැලසුම බවට පත්ව තිබෙන්නේ. අපට ප්‍රාදේශීය වශයෙන් බලයක් ගොඩනඟා ගැනීමට ලැබුණ හොඳ අවස්ථාවක් විදිහට මෙම පළාත් පාලන මැතිවරණය හඳුන්වා දීමේ වරදකුත් නැහැ.
උදිත ගුණවර්ධන