බිංගිරිය හා පන්නල ප්‍රදේශවල ගංවතුරවලින් පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදෙන බව පවසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් මිලියන 6.1ට අධික මුදලක් හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29) නියෝග කළේය.
මෙලෙස ඇප මුදා හරිනු ලැබුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු (මූල්‍ය) වන සරත් පෙරේරා නමැත්තෙකි.
එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණු අතර සෑම තෙමසකට වරක්ම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට අධිකරණයෙන් නියම කෙරිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සැකකරුගේ සම්බන්ධයක් ඇති බව විමර්ශනවලදී පෙනී යන බවය.
සැකකරු වෙනුවෙන් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙනී සිටිමින් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් තම සේවාදායකයා කටයුතු කර ඇති බවත් එවැනි තනතුරක් දරන පුද්ගලයකු එම වංචා සහගත සබඳතාවක් ඇති බවට පැවසීම විශ්වාස කළ නොහැකි කාරණයක් බවය.
මීට වසර දහයකට පෙර තම සේවාදායකයාගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන ඇතත් ඊට පසු කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති වීම ද සලකා බලා ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැරිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයට දැන්වූ අතර ඒ අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඉකුත් 24 දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් මෙම සැකකරුවන් සියලු දෙනා පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.