රත්නපුර ප්‍රදේශයේ සිටින ප්‍රබල දේශපාලනඥයකු පසුගිය මහමැතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන කොටස් එකලස් කර සකස් කර ඇති රුපියල් කෝටි තුනකට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් කොන්ක්‍රීට් වැඩපොළක සඟවා තිබියදී සොයා ගැනීමට පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් පෙරේදා (28) සමත්ව ඇත.
මෙම දේශපාලනඥයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අයකු බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ඉකුත් මහමැතිවරණයේදී එම දේශපාලනඥයා මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිට ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් බව ද සඳහන්ය.
නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වා හොර පාරෙන් ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන සමඟ දේශපාලනඥයන් කිහිපදෙනෙකු මහමැතිවරණය අවසන් වීමත් සමඟ පොලීසියට හසුවීමත් සමඟ මෙම ප්‍රාඩෝ රථය සඟවා තැබීමට කටයුතු කර ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෙම ජිප් රථය අතින් අත පුද්ගලයන් කිහිපදෙනකු වෙත ගොස් අවසානයේදී රත්නපුර, අංගම්මන කොන්ක්‍රීට් වැඩපොළේ සඟවා තිබී ඇති බව විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව මෙම රථය සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් එම කොන්ක්‍රීට් වැඩපොළේ හිමිකාර ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජිප් රථයේ සවිකර ඇති අංක තහඩු, ලොරි රථ අංකයක් බවත් චැසි සහ එන්ජින් අංක පවා ව්‍යාජ ලෙස කොටා ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ලියාපදිංචි විස්තරවලට අනුව රථයේ පැහැය ලෙස සටහන්ව තිබී ඇත්තේ MEROON ය. එහෙත් ජිප් රථයේ පැහැය අළු බව පොලීසිය සඳහන් කරයි. ලියාපදිංචි තොරතුරුවලට අනුව එන්ජින් ධාරිතාව සීසී1280ක් ලෙස සටහන්ව ඇතත් මෙම රථය සී.සී.2800කට වැඩි එන්ජින් ධාරිතාවක් ඇති එකක් බව පොලීසිය කියයි.
මෙම රථය සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානයට භාරදීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පියවර ගෙන ඇත.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, පොලිස් සැරයන්වරුන් වන සමරකෝන් (36136), පුෂ්පකුමාර (51068), සම්පත් (34950), කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090) , දේශාන් (99411), ප්‍රනාන්දු (105103), ගයාන් (99635) සහ පොලිස් කොස්කාපල් රියැදුරු අබේරත්න (89631) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.