අනුරාධපුර, ගල්වල හන්දියේදී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා යාපනයේදී ඊයේ (29) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට සාපරාධී බලපෑමක් මෙම මන්ත්‍රීවරයාගෙන් සිදුවන්නේ යැයි පැවසෙන්නේ පසුගිය 20 වැනිදා රාත්‍රී කාලයේදීය. ඒ ඔහු ගමන් කළ මෝටර් රථයේ නිල් සහ රතු පැහැති වී.අයි.පී. විදුලි පහන් දල්වාගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය වාහනය නවතා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.
රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරයපෑමේ සිද්ධියේ සැකකරු ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව අනුරාධපුර පොලීසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් දැනුම් දෙන්නේ ඊයේ (29) ය.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ ඉල්ලීමකට අනුව මෝසමක් මඟින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම රථවාහන නඩුවට අදාළ සැකකරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවයි.
ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බව ද පොලීසිය කීවේය.
පොලීසියේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා , මෙම නඩුවේ නිවැරදි සැකකරු ලෙස රාමනාදන් අර්චුනා යන අය බවට පිළිගනිමින් නඩුව යළි පෙබරවාරි මස 3 වැනි දින කැඳවීමට නියෝග කළේය.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. කේ. ජයවීර මහතා මෙහෙයවීම යටතේ මෙම වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මන්ත්‍රීවරයාව යාපනයේදී අත්අඩංගුවට ගනු ලබන්නේ අධිකරණයට මෙසේ කරුණු දැක්වීමෙන් අනතුරුවය.