රාජ්‍ය යාන්ත්‍රණය අනිවාර්යයෙන්ම ඩිජිටල්කරණය කළ යුතුයි
මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි. “ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කරන ලදි.
දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.
“මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා.
අපි මීට පෙර බලය හොබවපු නැති දේශපාලන ව්‍යාපාරයක්. පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම්, ආයෝජකයන් සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා නම්, මේ වනවිට එම සැකය තුරන් කර රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ ඉදිරි ගමන්මඟ පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමට අපට හැකි වී තිබෙනවා. එය පසුගිය මාස දෙක තුළ අප ලැබු සුවිශේෂී ජයග්‍රහණයක්.
මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරමින් සිටිනවා.
විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන, ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇති.
පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රණය අපි සකස් කරනවා.
ආයෝජන සම්බන්ධ ආයතන අයත් වන අමාත්‍යාංශවල ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් සමඟ අපි පසුගියදා දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගතයුතු බව එහිදී අනාවරණය වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත වෙනවා.
පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා වැඩ කරන දින 269ක කාලයක් ගතවෙනවා. ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. එය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගතවී තිබෙනවා. එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා.
ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි.
ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම්, ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජූලි මාසය වනවිට නැඟෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත හැකියි.
අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.
මේ වනවිටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිරවී තිබූ සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිර වී තිබෙනවා. අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා.
එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා.
ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවකින් වැඩකර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මඟින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේ දී දේශපාලන අධිකාරිය ලබා දුන් තීන්දු රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී ප්රතිවිරෝධයක් මතු වුණා. රාජ්‍ය යන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා. නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය යන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා.
මෙහිදී රාජ්‍ය යන්ත්රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි. නිශ්චිත කාලයට තීන්දු, තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.
ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාව පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමට ද හැකියාව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යන්ත්‍රණය අනිවාර්යයෙන්ම ඩිජිටල්කරණය කළ යුතුයි.
ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිථ්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.
පරිපාලනය සඳහා නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැහැදිලියි.
මෙතෙක් පැවති රාජ්‍ය පරිපාලනය අසාර්ථක හා දූෂිත බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරිවැයක් තිබෙනවා. සමහර ආයතනවල දැන් කළ යුත්තක් නැහැ. යුගයේ අවශ්‍යතා අනුව එම ආයතන ස්ථාපිත කළත් ඒ සඳහා වර්තමානයේ දී කරන්න වැඩපිළිවෙළක් නැහැ. එක් ක්ෂේත්රයක් සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කළ යුතුයි.
මෙරට ආර්ථිකයේ අපනයන ආදායමෙන් 90%ක් ලබා දෙන්නේ ආයතන කිහිපයක් පමණයි. රේගු ආදායමෙන් 69%ක් ලබා දෙන්නේ ෆයිල් 621යි. ඒ වගේම බස්නාහිර පළාත ජාතික ආර්ථිකයට 37%ක් දායක වනවිට ඌව පළාත ජාතික ආර්ථිකයට දායක වෙන්නේ 5%ක් පමණයි. ආර්ථිකය කුඩා කණ්ඩායම් අත පමණක් තැබීමෙන් ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැහැ.
අස්වැසුම ප්රතිලාභ සඳහා රුපියල් මිලියන 1.8ක් ලබා දෙනවා. නමුත් තවත් ලැබිය යුතු කණ්ඩායම් සිටිනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභවයන්, අවස්ථා ගමට හඳුන්වා දීමයි. එසේ සිදු වීමේදී ආර්ථික ප්රතිලාභ ගමට ගලාගෙන යනවා. ජනතාවගේ ක්‍රයශක්තිය වැඩි වීම තුළින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ හැකියි.
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැවතුණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආධාර ලබාදීමේ වැඩපිළිවෙළයි. එහිදී එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මී ගවයෙක් හෝ කුකුළු පැටවුන් ලබා දීම සිදු කළා. එය සාර්ථක නම් මේ වනවිට ගොවිපොළවල් විශාල ගණනක් තිබිය යුතුයි. එම නිසා ප්‍රජාව සවිබලගැන්වීම සඳහා නව ආර්ථික ප්‍රභවයන් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක තුළ හිඳිමින් ආධාර අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. මූල්‍ය උත්තේජනයක් ඇති කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. මෙරට තිබූ සහනාධාර ක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා තිබුණේ. එය අපි නවතා දමනවා. නිශ්චිතවම සහනාධාර ලැබිය යුතු කෙනාට ලබා දීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා.
වෙෙළඳපොළ නිදහස් බව පැවසුවත් ලෝකයේ වෙෙළඳපොළ නිදහස් නැහැ. ලෝක වෙෙළඳපොළ බෙදා වෙන් වී තිබෙනවා. ඒ බෙදා වෙන් වී තිබෙන වෙෙළඳපොළෙන් අපේ පංගුව අත්පත් කරගන්න රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපට ආසන්නම වෙෙළඳපොළ තිබෙන ඉන්දියාව සමඟ ලෝක වෙෙළඳපොළට ප්‍රවිෂ්ට වීමට අප අධ්‍යයනය කරමින් සිටිනවා.
මීට පෙර ඉන්දියාව සමඟ තිබූ වෙෙළඳ ගිවිසුම අධ්‍යයනය කරමින් එහි වාසි අවාසි පිළිබඳ සැලකිල්ලට ගෙන නව වෙළෙඳ ගිවිසුමක් ඔස්සේ ලෝක වෙෙළඳපොළ පංගුව අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ලෝකය ප්‍රකාශ මත ඉදිරියට යන්නේ නැහැ. දැනට එක්සත් ජනපදය විසින් කරනලද ප්‍රකාශවලින් ගැටුම්කාරී හෝ බියජනක අවස්ථා ඇතිවේ යැයි සිතන්නට පුළුවන්. නමුත් ලෝකය ප්‍රකාශවලින් නවතින්නේ නැහැ.
රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. රටට රාජ්‍ය සේවය ලබාදීම සඳහා විශාල වැය බරක් දැරීමට සිදු වෙනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක් ඉන්නවා. රාජ්‍ය සේවයේ පහළ ස්ථරය අතිරික්තයක් වුවත් මැද ස්ථරයේ විශාල සේවක හිඟයක් තිබෙනවා. මේ සඳහා විභාගයක් පැවැත්වුවහොත් පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා පැමිණෙනවා.
පෞද්ගලික අංශයේ ආකර්ෂණය නොවන රාජ්‍ය අංශයේ ආකර්ෂණය වන රාජ්‍ය සේවාවක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා පෞද්ගලික අංශයත් ආකර්ෂණීය සේවා කරන ස්ථානයක් බවට සංවාදයක් ඇති කළ යුතුයි.
1991 වසරේ දී වතු රජය සමාගම්වලට ලබා දුන්නා. නමුත් වසර තිස් දෙකක් ගියත් වතු සේවකයකුට දෛනිකව රුපියල් 1700ක් ලබා දීමට සමත්ව නැහැ. එවිට එම සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි.
ඊයේ රේගුවේ දී නීති විරෝධීව ගෙනා බහලුම් විවෘත කර බැලුවා. එය ගැන්වීම් කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එම බහලුම් විවෘත කර බැලූ විට ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබුණා. එම නිසා ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනවිත් තිබෙනවා. නමුත් ඔබ තුළ පරිවර්තනීය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ , ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව යන මහත්වරු සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – රුක්මල් ගමගේ