සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඔස්ට්‍රේලියානු පිල කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 330ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියි. බොහෝ විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී සුළුවෙන් හෝ වර්ෂාව පතිතවීම සාමාන්‍ය තත්ත්වයක් බව සනාථ කරමින්, ඊයේ යැවීමට තවත් ඕවර 8.5ක් ඉතිරිව තිබියදී පස්වරු 4.22ට තරගය නවතා දමන්නට සිදු විය. ඒ වනවිටත් ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ දස අතට පිත්ත වනා ලකුණු වර්ෂාව පතිත කර තිබිණි.
පළමු දිනය පුරා යැවූ ඕවර 80.1න් ඕවර් 8ක් පමණක් නිලකුණු ඕවර ලෙස වාර්තා වූ අතර, පන්දු යවන්නන්ට එපා වන තරමටම ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ පිට පිට දැවැන්ත පහරවල් එල්ල කළහ.
දුර්වල පන්දු පමණක් තෝරා ගෙන හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ පන්දු 210කදී නොදැවී ලකුණු 147ක් ලබාගත් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා නියම ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ අතර, එය ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත් අලුත් කළේය. නායක ස්ටීව් ස්මිත් පන්දු 188කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 104ක් ලබා ලකුණු පුවරුව ඉහළට එසැවිය. එය ස්මිත් එල්ල කළ 35 වැනි ශතකය වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි ශතක ප්‍රහාරය ද විය. මේ දෙදෙනා පන්දු 307කදී ලකුණු 195ක නොබිඳුණු සබඳතාවක් එක්කරමින් සිටිති.
තණතිල්ල කැඩීගොස් පිතිකරුවන් අමාරුවේ වැටෙන්නට කලින් ලකුණු පුවරුව ඉහළ දැමීම සැලසුම කරගත් ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු යුගල වූ ට්‍රැවිස් හෙඩ් හා උස්මාන් කවාජා පැයක් ගතවෙද්දී ලකුණු 90ක් ලබාගත් අතර, හෙඩ් පන්දු 40කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 57ක් ලබා තිබියදී ‘ඩීප් ලෝන්ග් ඕන්’හි හතරේ සීමාව අසලදී චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.
අංක තුන පිතිකරු මාර්නස් ලැබුස්චේන් ලකුණු 20ක් ලබා සිටියදී එල්ල කළ පහර රැකගත් පන්දු යැවූ වැන්ඩර්සේ දෙවැනි කඩුල්ල බිඳහෙළා ගැනීමත් සමඟ පැමිණි නායක ස්ටීව් ස්මිත් මුහුණදුන් ඔහුගේ 115 වැනි ටෙස්ට් තරගයේ පළමු පන්දුවෙන්ම ලකුණු 10,000 කඩඉම පසු කළේය. මේ අතරතුර ස්ටීව් ස්මිත් ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා සම තැන් ගැනීමට සමත් විය.
ටෙස්ට් පිටියේ වේගවත්ම ලකුණු 10,000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව් – තරග 111) පෙරමුණේ පසුවන අතර, කුමාර් සංගක්කාර හා ස්ටීව් ස්මිත් තරග 115කදී එම දක්ෂතාව දැක්වූහ. අනතුරුව යූනුස් ඛාන් (පාකිස්තානය – තරග 116), රිකී පොන්ටින් (ඔස්ට්‍රේලියාව – තරග 118) හා සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග 122) පිළිවෙළින් පසුවෙති.
ගාලු තණතිල්ල දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වුවද ශ්‍රී ලංකා මුල් පෙළේ දඟ පන්දු යවන්නන්ට සහායක් ඊයේ දිනයේ නොලැබුණි. වෙනදා කඩුලු අතර සිටින ප්‍රභාත් ජයසූරියට එරෙහිව ලකුණු 102ක් ඔස්ට්‍රේලියානුවන් ලබාගත් අතර, ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණි.
අද තරගයේ තෙවැනි දිනයයි.