
කාන්තා තරගය ජයගත් ටෂාරා මිහිරංගි (මැද) සෙනුරි නිර්මාණි (වමේ) සහ තෙනුලි රන්සේයා
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය 15 වැනි වරටත් සංවිධාන කළ කිලෝමීටර් දෙක විවෘත මුහුදු පිහිනුම් තරගයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ නිරෝද් තීක්ෂණ සමත් වූ අතර, කාන්තා ශූරතාව අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා සමාජයේ ටෂාරා මිහිරංගිට හිමි වූවාය.
අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීරයේ පැවති මේ තරගයේදී නිරෝද් මිනිත්තු 26:34.25කින් තරගය නිමා කළ අතර, අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා සමාජයේ සනුෂ් දෙනුවන් දෙවැනි ස්ථානයට පත්වූයේ මිනිත්තු 26:47.67කිනි. ලයන්ස් ක්‍රීඩා සමාජයේ පමුද් කවිඳු (27:22.35) තෙවැනි ස්ථානයට පත් විය.
කාන්තා ශූරතාව දිනා ගැනීමට ටෂාරා සමත් වූයේ මිනිත්තු 30:55.14ක කාලයක් වාර්තා කරමිනි. ලයන්ස් ක්‍රීඩා සමාජයේ සෙනුරි නිර්මාණි (31:20.38) සහ ගාල්ල ඇක්වා ජල ක්‍රීඩා සමාජයේ තෙනුලි රන්සේයා මෙන්ඩිස් (33:00.36) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූහ.
තරගයේ සමස්ත කාන්තා (ලකුණු 140) සහ පිරිමි (ලකුණු 126) කණ්ඩායම් ශූරතා අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදි. අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය පිරිමි (93) සහ කාන්තා (42) අනුශූරතා දිනාගත් අතර, පිරිමි තෙවැනි ස්ථානය බෙන්තොට සී හෝර්ස් ජල ක්‍රීඩා සමාජයට (18) සහ කාන්තා තෙවැනි ස්ථානය ගාල්ල ඇක්වා ජල ක්‍රීඩා සමාජයට (31) හිමි විය.