වරායේ පවතින බහලුම් තදබදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව දින හතරක කඩිනම් බහලුම් නිෂ්කාශන වැඩසටහනක් ඊයේ (30) ආරම්භ කළ අතර එය ලබන ඉරිදා (02) දක්වා ක්රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා රේගුව හා රේගු නිෂ්කාශන කටයුතු සඳහා එක්වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු අනෙකුත් ආයතන හා නිෂ්කාශන කටයුතු සඳහා සම්බන්ධ පෞද්ගලික අංශය ඒකාබද්ධව පූර්ණ සහයෝගයෙන් ක්රියාත්මක කරන මෙම වැඩසටහනින් රේගු නිෂ්කාශන අංගණවල ගොඩ ගැසී ඇති බහලුම් තොග පරීක්ෂා කිරීමට නියමිතය.
ඒ අනුව සියලුම බහලුම් අංගණ සහ තක්සේරු අධ්‍යක්ෂ කාර්යාල ඊයේ (30) සිට පෙබරවාරි 2 වන ඉරිදා දක්වා සම්පූර්ණ කාර්ය මණ්ඩලය සමඟ ක්රියාත්මක වන අතර පෝලිම්වල ඇති සියලුම බහලුම් පරීක්ෂා කිරීම් අවසන් කෙරේ. එබැවින් නිෂ්කාශන නියෝජිතයන් සහ ප්රවාහනය කරන්නන් තම කාර්යයන් නියමිත වේලාවට ඉටු කිරීමෙන් ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ශ්‍රී ලංකා රේගුව ඉල්ලා සිටී.