මහත්මා ගාන්ධි ඉන්දීය නිදහස් සටනේ කැපී පෙනෙන පතාක යෝධයෙකි. අහිංසාවාදය පෙරටු කර ගත් ඉන්දීය නිදහස් සටන පිළිබඳ කතා කරද්දී සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය ප්‍රමුඛ තැනක් ගනී. අධිරාජ්‍යවාදී පාලකයන්ට එරෙහිව ජනතාව සිවිල් නීති කඩ කළ විට ඔවුන් අල්ලා සිර ගෙවල්හි දැමූ කල, සිර ගෙවල් ජනතාවගෙන් පිරී ගොස්, ඒ නීති ප්‍රායෝගික නොවන බව පාලකයන්ට ඒත්තු ගැන්වීම එහි අරමුණ විය. ජනතාව ප්‍රසිද්ධ ස්ථානවල මල පහ කිරීමට පෙලඹවීම ද මේ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයේ පියවරක් විය. අධිරාජ්‍යවාදී හමුදාව ඉන්දීය නිදහස් සටනේ නායකයන් අත්අඩංගුවට ගන්නා විට මෙලෙස ප්‍රසිද්ධ ස්ථානවල මල පහ කිරීමට පැමිණි පුද්ගලයන් ද අත්අඩංගුවට ගත් බව කියැවේ. දඬුවම් කාලයෙන් පසු මේ දෙපිරිසටම නිදහස ලැබුණේ එක විටය. එවිට ප්‍රසිද්ධ ස්ථානවල මල පහ කිරීමට ගොස් අත්අඩංගුවට පත් වූවන් ද සිරගෙවල්වලින් එළියට පැමිණියේ නිදහස් සටනේ වීරයන් හැටියටය. මෙය නිදහස් සටනේ සැබෑ වීරයන් කවුරුන් දැයි හඳුනා ගැනීමට ඇති වූ ප්‍රධානතම බාධකයකි.
ඉහත කී කාරණය වර්තමාන සමාජ දේශපාලනික කාරණයක් සමඟ සමපාත වන බව අපට සිතේ. ඉකුත් පාලන කාලසීමාවන්හි විවිධ දූෂණ, වංචා, අක්රමිකතාවල නිරත වූ බොහෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අතර, ඔවුන් අත්අඩංගුවට පත් වීම ද මේ දිනවල සිදු වෙමින් පවතී. එලෙස අත්අඩංගුවට පත් වන්නන් උසාවි හමුවට යන්නේ ද, තාවකාලිකව ඇප ලබා උසාවි බිමෙන් එළියට එන්නේද ‘ජාතික වීරයින්’ මෙනි.
ඒ නිසා ඔවුහු තමන්ගේ දෑතට මාංචු දමද්දී සිනා සෙති; ඇප ලබා එළියට එද්දී පැමිණෙන්නේ සිනා මුසු මුහුණෙනි. එපමණක් නොව, දෑත ඔසවා ජයග්‍රහණයේ සංකේතය නිරූපණය කර පෙන්වති; “මට නීතිය විශ්වාසයි” යනුවෙන් ප්‍රකාශ පවා නිකුත් කරති. එවිට ඔහු වටා සිටින අන්තේවාසික ජනතාව ප්‍රීතිඝෝෂා නඟති.
මේවා රූපවාහිනී තිරවල පෙන්වද්දී ජනතාව අන්දමන්ද වීම ඉතා සරල ස්වාභාවික කාරණයකි.
සත්‍ය වශයෙන්ම ගත හොත් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ සඳහාය. එකී දේශපාලනඥයන් විසින් කරනු ලැබුවායි කියන දූෂණ, වංචාවල ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය.
පසුගියදා අත්අඩංගුවට පත් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ, අනුර යාපා සහ විජයමුණි සොයිසා වැනි දේශපාලකයන් ද අත්අඩංගුවට පත් වීමෙන් පසු ඉහත ආකාරයට හැසිරෙන ඡායාරූප සහ ඔවුන්ගේ ප්‍රකාශ ජනමාධ්‍යවල දක්නට ලැබිණි. හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග චෝදනාවකින් ගෙදර යැවීමට දායක වූ නාමල් රාජපක්ෂ පවා අධිකරණය හමුවට පැමිණ “මට නීතිය විශ්වාසයි” යනුවෙන් කියන විට අපට දැනෙන්නේ පිළිකුල දනවන හැඟීමකි. අගවිනිසුරුවරිය ගෙදර යවන විට ඔහුගේ හෘදය සාක්ෂිය තිබුණේ කොතැනදැයි අපි නොදනිමු.
ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය පුරා දූෂිතයන්ට සහ වංචනිකයන්ට නීති මඟින් කටයුතු කිරීම පිළිබඳ සාක්ෂි ඇත්තේ ඉතා අල්ප ප්රමාණයකි. එබැවින් දූෂිතයෝ කිසිදු බියකින් සැකයකින් තොරව මෙවැනි ප්‍රකාශ නිකුත් කරති. ඊට හේතුව බල දේශපාලනයේ රැකවරණය ඔවුන්ට ලැබීම මිස අන් කවරක් ද? මේ නිසා දූෂිතයන් අත්අඩංගුවට ගන්නා රූප රාමු දකින විට සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් කරන ප්‍රකාශ දකින විට “මෙන්න දේශපාලනික පළි ගැනීම් කරනවා” යැයි සිතන්න ද පුළුවන.
සත්තකින් ම මේ නිසා රටේ පොදු ජනතාවට වීරයන් සහ ද්‍රෝහීන් මාරු වී ඇත. ජනතා ද්‍රෝහීන් කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි තරමට ජන සමාජය විපිළිසර වී ඇත.
මෙතෙක් කලක් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ පොදු ජන සමාජයේ වෙනස් වන සුලු ජන මනස පිළිබඳ අවබෝධයක් ඇති දූෂිත දේශපාලුවෝ මේ නිසා තමන්ගේ දෑතට විලංගු වැටෙත් දී සිනා සෙති; මාංචු පිටින් දෑත ඔසවා ජයග්‍රහණයේ සංකේතය පෙන්වති. ඒවා පුවත්පත්වල, රූපවාහිනී තිරවල ප්‍රමුඛ පුවත් සේ පළ වන බව ඔවුහු දනිති.
ජනතාවට වීරයන් සහ ද්‍රෝහීන් මාරු වන්නේ එවිට ය.
අපි යළිත් ඉන්දීය නිදහස් සටන දෙසට හැරෙමු. ඉන්දීය නිදහස් සටනේ වීරයන් සමඟ අත්අඩංගුවට පත්, නිදහස් සටන වෙනුවෙන් කිසිවක් නොකළ, ප්‍රසිද්ධ ස්ථානවල මල පහ කිරීමට පැමිණි අය ද මෙලෙස හැසිරෙන්නට ඇත.
එබැවින් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ සිනා සිසී අත්අඩංගුවට පත් වන්නන්ට කියන්න ඇත්තේ ඒ අතීත දේශපාලනික උදාහරණය පමණකි.
මේ නිසා වීරයන් සහ ද්‍රෝහීන් මාරු නොවන සමාජ ක්‍රමයක් නිර්මාණය කළ යුතුව ඇත. අතිශය දුෂ්කර සංකීර්ණ කටයුත්තක් වුවත්, එය අනිවාර්යෙන් ම කළ යුත්තකි. එය දීර්ඝ, කල් ගත වන ක්‍රියාවලියක් බව අපි දනිමු. එහෙත් ඒ සඳහා මුල පිරීම කළ යුතු ය.