වර්තමාන ලෝක දේශපාලනය තුළ මෙන්ම අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ සුවිශේෂ සංසිද්ධියක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජනාධිපති බවට පත්වීම හඳුනාගත හැකිය. පසුගිය 20 වැනි දින ඔහු එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබූයේ, එරට ඉතිහාසයේ බිහිවුණු සාම්ප්‍රදායික දේශපාලන නායකයින්ට වඩා සුවිශේෂි පුද්ගලයෙක් ලෙසිනි. 2017 වසරේ දී බලයට පත්ව 2021දී ඩිමොක්රටික් පාක්ෂික බයිඩන් හමුවේ පරාජයට පත්වූ අතර, 2025දී අඛණ්ඩව නැවත බලයට පත්වූ අමෙරිකානු ඉතිහාසයේ දෙවැනි ජනාධිපතිවරයා වන්නේ ඔහුය. 1885 – 1889 සහ 1893 – 1897 කාල සීමාව තුළ අමෙරිකාවේ 22 සහ 24 වැනි ජනාධිපති ලෙස කටයුතු කළ ග්‍රෝවර් ක්ලේව්ලන්ඩ් ජනාධිපතිවරයාට පසු අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වරක් පරාජය වී නැවත ජනාධිපති ධුරයට පත්වූ දෙවැනි පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරාවලියේ 45 සහ 47 වන ජනාධිපති ලෙස ඉතිහාසගත වෙයි.
සම්ප්රදාය ඉක්මවා ගිය නායකයා
එසේම අමෙරිකානු මෑත ඉතිහාසය තුළ බිහිවූ සාම්ප්‍රදායික අමෙරිකානු නායකයින්ට වඩා ට්‍රම්ප් සුවිශේෂ රාජ්‍ය නායකයකු ලෙස සඳහන් කළ හැකිය. වරෙක ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී නැවත ජනතා පරමාධිපත්‍ය මත ලෝක දේශපාලනයේ ප්‍රමුඛස්ථානය වන අමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා බවට දෙවතාවක් පත්වීමට තරම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුවිශේෂත්වය කුමක්දැයි යන්න හඳුනාගත යුතුම වූ කරුණකි. අමෙරිකානු දේශපාලන ඉතිහාසය තුළ මේ දක්වා නායකත්වය දැරූ රාජ්‍ය නායකයෝ සියල්ලම පාහේ දේශපාලනයේ නිරත වූ හෝ සක්‍රිය හමුදා හෝ රාජ්‍ය සේවයේ නිරත වූ පුද්ගලයෝ වෙති. එහෙත් ට්‍රම්ප් එවැනි කිසිදු යුදමය හෝ දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයෙක් නොවන අතර, ඔහු දේපොළ හා ඉඩකඩම් ක්ෂේත්රයේ දැවැන්ත මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස ප්රකටව සිටි අයෙකි. දේශපාලනයට අවතීර්ණ වී 2017දී පළමු වරට අමෙරිකානු ජනාධිපති ධුරයට පත්විය. සාම්ප්‍රදායික අමෙරිකානු රිපබ්ලිකන් පාක්ෂික නායකයකුගේ ගුණාංගවලින් වෙනස් වන ඔහු දේශපාලන සහ ආර්ථිකමය යන සෑම අංශයකින්ම කැපී පෙනෙන පුද්ගලයකු බවට පත්වන්නේ එහෙයිනි. මේ දක්වා අමෙරිකාව අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලන, ආරක්ෂක හා වෙෙළඳ ප්රතිපත්තීන් වෙනස් මඟකට යොමු කරමින් ආරක්ෂණවාදී දේශපාලන ප්‍රතිපත්ති මත පදනම් වන ඔහු අසීමිත ජනතා අප්‍රසාදයකට ලක්ව, පරාජය වී නැවත බලයට පත්වීමට තුඩු දුන් කාරණා හඳුනා ගැනීමද මෙහිදී වැදගත් වේ. අමෙරිකාව යළි විශිෂ්ටත්වයට පත්කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි රැඩිකල් රිපබ්ලිකන් නායකයකු අමෙරිකාවේ ජනාධිපති ලෙස පත්වීමට බලපෑ අභ්‍යන්තර සහ බාහිර සාධක මොනවාද යන්න පිළිබඳව මූලිකවම අවබෝධ කරගත යුතුය.
මෙම තත්ත්වයට බලපෑ ජාත්‍යන්තර සාධක පිළිබඳ සලකා බැලීමේදී විසිවැනි ශතකයේ ප්‍රථම දශකයෙන් පසු ජාත්‍යන්තර පද්ධතිය තුළ බල තුලනයේ සිදුවූ පරිවර්තනයන් හේතු වී ඇති ආකාරයක් දැකගත හැකිය. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අමෙරිකානු ආධිපත්‍යය ලොව පුරා තහවුරු කරගැනීමට දැරූ උත්සාහය සහ එය අභියෝගයට ලක්වූ ආකාරයත් පෙන්වා දිය හැකිය. සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ ලෝක දේශපාලනය තුළ අමෙරිකා එක්සත් ජනපදය බලවතා බවට පත්විය. අමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්‍යයන්ගේ ආධිපත්‍ය මත නිර්මාණය වූ ලෝක පද්ධතියෙහි විවිධ ජාත්‍යන්තර සංවිධාන (එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙෙළඳ සංවිධානය) ව්‍යුහයන්ගේ නිර්මාණය වීමද මෙහිදී වැදගත් වේ. රුසියාව ප්රමුඛ කොමියුනිස්ට් ව්‍යාප්තවාදයෙන් මුදවා ගැනීමට චීනය වැනි කොමියුනිස්ට් රාජ්‍යයන් පවා අෙමරිකාව විසින් තම ආර්ථික කඳවුරට සම්බන්ධ කරගන්නේ එහි එක් උපක්‍රමයක් වශයෙනි. නමුත් අමෙරිකාව අපේක්ෂා නොකළ අයුරින් 90 දශකය තුළදී චීනය ජාත්‍යන්තර පද්ධතියේ නවතාවයන් සමඟ සම්බන්ධ වෙමින් අමෙරිකාව නොදැනුවත්වම ඉතා වේගයෙන් සංවර්ධනය විය.
90 දශකයේ සිටි බොහෝ අෙමරිකානු ජනාධිපතිවරුන් (ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වැනි අය) චීනයේ ආර්ථික නැඟීම අෙමරිකානු වෙෙළඳපොළ ලෝක ආධිපත්‍යයට අභියෝගයක් ලෙස නොසැලකූ අතර, චීනය අමෙරිකාවේ උපායමාර්ගික සාමාජිකයකු ලෙස සලකනු ලැබීය. ඔවුහු බොහොමයක් දෙනා චීනයේ ආර්ථික සංවර්ධනය හමුවේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී බටහිර දේශපාලන මාදිලියේ රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි අපේක්ෂාවෙන් කටයුතු කළහ. චීනයේ නැඟීමට සමගාමීව දීර්ඝ කාලයක් පුරාවට අමෙරිකාව ප්රමුඛ බටහිර ආර්ථික ක්‍රමය මඟින් ඉදිරියට ආ රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රාජ්‍යයන් ආර්ථික වශයෙන් බලවත් රාජ්‍යයන් බවට පත්වූ ආකාරයක් දැකගත හැකිවිය.
බලවතාගේ භූමිකාව
මෙම අවධිය වන විට අමෙරිකාව ලෝක බලවතා වශයෙන් ජාත්‍යන්තර අර්බුදවලට මැදිහත් වූ අතර, යුරෝපය, මැදපෙරදිග සහ ලතින් අමෙරිකානු කලාපවල තම ගෝලීය දේශපාලන න්යායපත්රය වෙනුවෙන් කටයුතු කළේය. උදාහරණ ලෙස සර්බියා, චෙච්නියා, ඉරාක, ලිබියා, ඊශ්‍රායල, පලස්තීන, වෙනිසියුලා යුද්ධ මේ සඳහා නිදසුන්ය. අමෙරිකාවේ මෙම ප්රජාතන්ත්රවාදයේ දෙබිඩි පිළිෙවතට එරෙහිව ගෝලීය දකුණේ සහ යුරෝපයේත් ආසියාවේත් රාජ්‍යයන් අසතුටුදායක මට්ටමක පවතින අවධියකදී ෂී ජින් පින්ගේ නායකත්වයෙන් යුතුව ආරම්භ වූ භූ දේශපාලනික හා භූ ආර්ථිකමය ව්‍යාපෘතිය වූ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය සමඟ ඒකාත්මික වීමක් දැකගත හැකිවිය. චීනය විසින් දියත් කළ මෙම නව ව්‍යාපෘතියත් සමඟම අෙමරිකානු රාජ්‍ය යන්ත්‍රණය තමා ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳ සවිඥානික වූ අතර, එය අමෙරිකානු ආර්ථිකයටත් ආධිපත්‍යයටත් එල්ල කරන පීඩනය පිළිබඳ අවබෝධ කරගනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ 2017 දී ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලික් පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරි අනාගතයේදී අමෙරිකාව මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳව දැනුවත් කරමින් අමෙරිකානු ආර්ථිකය නැවත ගොඩනැඟීමේ අරමුණින් ජනාධිපති ධුරයට පත්වීමයි.
ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයේ ආර්ථිකමය ශක්‍යතාවයන් දුර්වල කිරීමේ අරමුණින් දැඩි බදු ප්‍රතිපත්තියක් චීනය කෙරෙහි අනුගමනය කළේය. ඒ හරහා අමෙරිකානු ආර්ථිකය උද්දීපනය සඳහා අවශ්‍ය ප්රතිපත්තීන් සම්පාදනය කෙරුණි. එසේ වුවද ඔහු නැවත පරාජයට පත්වීමත් සමඟ ඩිමොක්රටික් පාක්ෂික බයිඩන් යටතේ ක්‍රියාත්මක වූ විදේශ ප්‍රතිපත්තිය මඟින් ලෝකයේ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කළ අතර, නේටෝ සාමාජිකත්වය කේන්ද්‍ර කොටගෙන යුක්රේන රුසියා යුද්ධය, පලස්තීන අර්බුධය ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකයට මහා විනාශකාරී ප්‍රතිඵල ගෙන දුන් අතරම එමඟින් අෙමරිකන් සහ යුරෝපා විරෝධී නව බලකඳවුරක් නිර්මාණය කිරීමට පසුබිම් සකස් කරනු ලැබිය. මෙහි අග්‍රඵලය ලෙස බ්‍රික්ස් සංවිධානයේ ක්‍රියාකාරීත්වය පෙන්වාදිය හැකිය. අෙමරිකානු පාලන තන්ත්රයේ තීරණාත්මක ප්රතිපත්තීන් රැසක වෙනස් කිරීම අපේක්ෂා කරමින් බහුතර බලය තහවුරු කරගත් ට්‍රම්ප් මෙලෙස නැවත බලයට පැමිණෙන්නේ ලෝකයේ බල තුලනය සම්බන්ධයෙන් මෙවැනි උභතෝකෝටිකයක් නිර්මාණය වී ඇති පසුබිමකයි. අෙමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා කළ කථාව තුළින් ඔහුගේ ප්‍රතිපත්ති නව දේශපාලන යථාර්ථවාදී ප්‍රවේශයක් අනුගමනය කරන බව පෙන්නුම් කළේය. විශේෂයෙන් ජාතික දේශසීමා ආරක්ෂාව (මෙක්සිකෝ සහ කැනඩා දේශසීමා) සහ පැනමා ඇළේ අයිතිය පිළිබඳ වැදගත්කම අවධාරණය කළේය. තවද ගෝලීය දේශපාලන ආර්ථිකය තුළ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී ස්ථාවරයක් අනුගමනය කරනු ඇති බව පෙනේ.
විධායක නියෝග
ට්‍රම්ප්ගේ විධායක නියෝග අතර සුවිශේෂ අංශ කිහිපයක් තිබේ. එම නියෝග අතර, මත්ද්‍රව්‍ය කාටෙල් සංවිධාන විදේශ ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීම, ෆෙඩරල් රජයේ විවිධත්වය, ඇතුළත් කිරීම සහ සාධාරණත්වය මත පදනම් වූ පත්කිරීම් අත්හිටුවීම සහ අෙමරිකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පමණක් පිළිගැනීම.
2020 බයිඩන් ජනාධිපතිවරණ ව්‍යාපාරය සමඟ අසාර්ථක දේශපාලන භාවිතයේ යෙදුණ නිලධාරින්ගේ සහ ජෝන් ආර්. බෝල්ටන් සම්බන්ධිත හිටපු බුද්ධි අධ්යක්ෂ නිලධාරින්ගේ ක්‍රියාකාරි ආරක්ෂණ බලපත්‍ර අහෝසි කිරීම,
ජනවාරි 6 විරෝධතාකරුවන්ට සමාව දීම, ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම, එක්සත් ජනපදයේ මරණ දඬුවම නැවත පිහිටුවීම, එක්සත් ජනපදයේ උපත ලැබූ අනවසර සංක්‍රමණිකයන්ගේ පවුලේ සාමාජිකයන්ට ස්වයංක්‍රියව පුරවැසිකම අහිමි කිරීම, එක්සත් ජනපදයේ සරණාගත පිළිගැනීමේ වැඩසටහන යළි සලකා බැලීම සහ වෙනස්කම් කිරීම,
ධවල මන්දිරයේ නිලධාරින්ට ඉහළම මට්ටමේ රහස් ආරක්ෂක නිෂ්කාශන ලබාදීම, වෘත්තීය ජ්‍යෙෂ්ඨ විධායකයන්ට රාජ්‍ය කටයුතු පිළිබඳව වගකීම නැවත පිහිටුවීම, කැලිෆෝනියාවේ වෙනත් ප්‍රදේශ වෙත යවන වතුර ප්‍රමාණය ඉහළ දැමීම, අෙමරිකන් ක්‍රමයට ෆෙඩරල් සිවිල් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම, සියලු රාජ්‍ය සේවකයන් දුරස්ථ හෝ මාර්ගගත වැඩවලින් ඉවත් කොට ආයතනගත රාජකාරිවලට කැඳවීම, එක්සත් ජනපද විදේශ ආධාර නැවත විමසා බැලීම ලෙස හඳුනාගත හැකිය.
ලෝක අවධානය
මේ අතරින් ලෝකයේම අවධානය යොමු වූ සහ දැවැන්ත මතභේදයන්ට තුඩු දුන් සුවිශේෂ කරුණු කිහිපයක් ජාත්‍යන්තර විශ්ලේෂකයෝ විසින් අවධාරණය කරමින් සිටිති. ලෝකයේ බල තුලනය සහ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා බහුපාර්ශ්විය සන්ධානයන්ගේ අවශ්‍යතාව වඩාත් තීව්ර වී ඇති මොහොතක අෙමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම, අෙමරිකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පමණක් පිළිගැනීම වැනි තත්ත්වයන් ජාත්‍යන්තර පද්ධතිය තුළ තීරණාත්මක සිදුවීම් බවට පත්වනු ඇත. මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ නීතිමය කටයුතු ආරම්භ කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ සඳහා බලපෑ හේතු ගණනාවක් දක්වා ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් ම දක්වා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය කොරෝනා වසංගතය සහ අනිකුත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයන් හැසිරවීමේදී සිදු කළ වැරදි සහ අකාර්යක්ෂම ප්රවේශයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලට සාපේක්ෂව එක්සත් ජනපදය වෙත ඉතා අසාධාරණ මුදල් යෙදවීමක් සංවිධානය වෙත සිදු කිරීමට සිදු වීමත්ය. තවදුරටත් ඒ පිළිබඳ විග්රහ කරන ධවල මන්දිරය පවසා සිටින්නේ, කොවිඩ් 19 ගෝලීය වසංගත සමයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය චීන කේන්ද්‍රීයව සහ චීනයට පක්ෂපාතී ලෙස කටයුතු කළ බවත් අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට සංවිධානය අපොහොසත් වී ඇති බවත් සහ සාමාජික රාජ්‍යයන් විසින් සංවිධානය වෙත සිදු කරනු ලබන අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් නිදහස් ව ස්වාධීන ව කටයුතු කිරීමට ඇති නොහැකියාවත් මෙහිදී ට්‍රම්ප් විසින් අවධාරණය කර ඇත. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රාජ්‍යයන් විසින් සංවිධානය වෙත සිදු කරනු ලබන ගෙවීම් සැලකීමේ දී අනිකුත් රාජ්‍යයන්ට සාපේක්ෂ ව විශාල මුදලක් එක්සත් ජනපදයට ගෙවීමට සිදුවීම ද අෙමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.
මෙයට අමතර ව දෙවැනි වරටත් පැරිස් ගිවිසුමෙන් ඉවත් වීමට ට්‍රම්ප්ගේ නව පාලනය තීරණය කර තිබේ. සිය පළමු ධුර කාලය තුළ දී ද එක්සත් ජනපදය පැරිස් ගිවිසුමෙන් ඉවත් කරගැනීමට ට්‍රම්ප් කටයුතු කළ නමුත් බයිඩන් පාලනය විසින් නැවත ගිවිසුම හා එක්වන ලදි. එනමුත් ට්‍රම්ප් නැවත පත් වී පළමු දිනයේ දී ම නැවතත් එක්සත් ජනපදය පැරිස් ගිවිසුමෙන් ඉවත් කරගෙන ඇති අතර, පොසිල ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවීමේ ට්‍රම්ප්ගේ අභිලාෂයන් මේ සඳහා හේතු සාධක වී තිබේ.
ආසියානු සහස්‍රය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ට්‍රම්ප් ආගමනයේ බලපෑම සුළුපටු නොවනු ඇති අතර, මෙහිදී ශ්‍රී ලංකාව වහාම අවධානය යොමු කළ යුතු පළමු සහ ප්‍රධානතම ක්ෂේත්රය වන්නේ එක්සත් ජනපද වෙෙළඳ සහ තීරුබදු ප්‍රතිපත්තියේ ඉදිරියේදී ඇතිවීමට නියමිත වෙනස්කම් ය. එක්සත් ජනපදයේ සමස්ත ආනයනවලින් 0.1%ක් වන ශ්‍රී ලංකාව ජනාධිපති ට්‍රම්ප්ගේ වෙෙළඳ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් නොවනු ඇත. නමුත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ වෙෙළඳ ප්‍රතිපත්තියේ පවතින වෙනස්කම් ප්‍රමුඛතාව ලෙස සැලකිය යුත්තේ, එම වෙෙළඳපොළ ශ්‍රී ලංකාවේ මුළු අපනයනයෙන් හතරෙන් එකක් පමණ වන බැවිනි. එක්සත් ජනපද වෙෙළඳ ප්‍රතිපත්තියේ ඕනෑම ප්‍රධාන වෙනස්කම්, විශේෂයෙන් තීරුබදු වැඩි කිරීම්, අපගේ අපනයන, දළ දේශීය නිෂ්පාදිතය සහ අපනයන ආශ්රිත රැකියා කෙරෙහි ක්ෂණික හා දුරදිග යන බලපෑමක් ඇති කරනු ඇතැයි යන්න බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකාවට ප්‍රධාන බල ක්‍රීඩාවක පැටලීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඉන්දියන් සාගරයේ සිය උපායමාර්ගික ස්වයං පාලනය පවත්වාගත යුතුය. කෙසේ වුවද, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ගැන කිසිවක් නිවැරදිව අනාවැකි කීමට තවමත් කල් වැඩිය. ලෝක දේශපාලනය තුළ අපේක්ෂිත අනපේක්ෂිත බොහෝ වෙනස්වීම් සුදු වීමට නියමිත කාලවකවානුවක ශ්‍රී ලංකාව ජනාධිපති අනුර දිසානායක නව රජයේ ප්රතිපත්තීන් සමඟ නොබැඳි ප්‍රතිපත්තියක් හරහා සිය ආර්ථික සහ ආරක්ෂණ අභිලාෂයන් සාධනය කරගැනීමට කටයුතු කළ යුතුය.