පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙනගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් 20ක් ඇතුළු පුද්ගලයන් 33ක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.
එම සම්බාන මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිමි පුද්ගලයන් තිදෙනකු ද ඒ අතර වන බව පොලීසිය කියයි. සෙසු පුද්ගලයන් අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන් තිදෙනෙක්, සැකපිට පුද්ගලයන් සිවුදෙනෙක්, නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් මෙන්ම තීරු බදු රහිතව ආනයනය කරන ලද දුම්වැටි 1425ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ද ඒ අතර වන බව පොලීසිය කියයි.
දක්ෂ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී ආකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන් මුළා කර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල දිනෙන් දින ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැක කටයුතු ස්ථාන සම්බන්ධයෙන් පෙරේදා (29) තලංගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමේදී මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. වැටලූ එම සම්බාහන ආයතනවල කිසිම ආයුර්වේ දී ප්‍රතිකර්මයක් සිදු නොකරන අතර කිසිම ආයුර්වේද වෛද්‍යවරයකු හෝ පළපුරුදු ආයුර්වේද සහායකයකු ද නොමැති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරුවන් වයස අවුරුදු 22ත් 45ත් අතර පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් සහ සැකකාරියන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ඒකනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තලංගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මලවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීහු 20කගෙන් යුත් කණ්ඩායමක් වැටලීමට එක්වූහ.