අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගත් සමුපකාර සහ අභ්‍යන්තර වෙෙළඳ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කෙරිණි.
ඒ මහතා අත්අඩංගුවට ගෙන පැය තුනක පමණ කාලයකින් මෙසේ ඇප මත මුදාහැරුණි.
ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් 2011 වසරේ දී කුරණෑගල දී පවත් වන ලද “ඉසුරු සවිය” නමැති වැඩසටහනට සමුපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183ක් වැය කර ඇත. එහිදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව ඇප ප්‍රතික්ෂේප කිරීමට කාරණා ඉදිරිපත් වී නැති බව කියමින් මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හැරීමට මෙසේ නියෝග කළාය. “මේ සිද්ධිය වී තිබෙන්නේ 2011 වසරේදී ය. සැකකරු එම මුදල් ලබා දුන් අය මතක නැති බව ප්‍රකාශ කර තිබෙනවා. විමර්ශනවලට බාධා කිරීමට හැකියාවක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප දීමට බාධාවක් නැහැ. එම සුවිශේෂී කරුණු සලකා සැකකරුට ඇප ප්රදානය කරන බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී දැනුම් දුන්නාය.
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රවාහන පහසුකම් සඳහා වෙන් කළ මුදලක් ද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරිය විමසා සිටි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ එම මුදල් ප්‍රවාහන පහසුකම් සදහා වෙන් කර තිබූ මුදල් බවය.
එම උත්සවයට ප්‍රවාහන සැපයුම් භාරව සිටි නිලධාරියාගේ මව මියයෑම හේතුවෙන් සැකකාර අතිරේක ලේකම්වරයා එම ප්‍රවාහන පහසුකම් සපයා ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම මුදල් එවකට සිටි සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ලේකම්වරයකුට ලබා දූන් බව සැකකාර අතිරේක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකාර අතිරේක ලේකම්වරයාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ද විමර්ශන කරන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම ප්‍රවාහන පහසුකම් සඳහා සැකකරු විසින් ලංගම බස් රථයක් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා යොමු කර ඇති මුදල් කුවිතාන්සිය සංශෝධනය කර ඇති බවට විමර්ශන අනාවරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
තම සේවාදායකයා එම අවස්ථාවේ ප්‍රවාහන කටයුතු සඳහා එම මුදල් ගෙවා ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.
“ඔහු අමාත්‍යාංශ ගණනාවක් භාරව සිටි කීර්තිමත් ලේකම්වරයෙක්. මේ සිද්ධිය 2011 දී සිදු වූ දෙයක්. එම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා ඇප ලබා දෙන ලෙස නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හැරියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් (88959) පුෂ්පකුමාර නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළ අතර සැකකාර හිටපු ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ සුරංග පෙරේරා, ලලිත් පියුම් සහ නජිත් සමරකෝන් යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.