අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දැනට උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ ද නිර්දේශ ප්‍රකාරව විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් සාධාරණ විසඳුමක් ලබා දී ඇති හෙයින් එකී තීරණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර එම අර්බුදය විසඳීමට උත්සුකව කටයුතු කරන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහනායක හිමිවරු ජනපතිට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ.
ස්වකීය අධ්‍යාපන කටයුතු පසෙකලා විවිධ අයිතීන් දිනා ගැනීමේ අරමුණින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිදු කරන විරෝධතා හේතුවෙන් වර්තමානය වන විට නැවතත් තරුණ භික්ෂුවගේ ආචාරගෝචර සම්පන්නභාවය සම්බන්ධව ගිහි පැවිදි උභය පක්ෂයේම බලවත් අප්‍රසාදයක් පළ වී ඇතැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සිය ලිපියේ සඳහන් කර ඇත.
මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනායක හිමිවරුන්ගේ අත්සනින් ජනපතිවරයා වෙත මේ ලිපිය යොමු කර තිබේ. රජය විසින් විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය කරමින් භික්ෂූන් වහන්සේ සඳහා මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්නේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ද අපේක්ෂාවෙන් යුතුවය. එවැනි පසුබිමක භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් සමස්ත සමාජයේම අප්‍රසාදය ගොඩනැඟෙන චර්යාවන්ගෙන් ව්‍යුක්තව මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන අයුරින් ස්වකීය ආගමික, සාමාජීය මෙන්ම සංස්කෘතික වගකීම් සම්භාරය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට තරුණ භික්ෂූන් අධිෂ්ඨාන කරගත යුතු යැයිද දැක්වේ.