වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට නියමිත රුපියල් බිලියන පහක මුදල ඵලදායී ලෙස යෙදවීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර ඇත.
මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත. වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය දැඩි අධීක්ෂණයක් යටතේ සිදු කිරීමට වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදු විය හැකි අක්‍රමිකතා මඟ හරවා ගැනීමට රජය අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එමෙන්ම මේ වන විට සහල් ආනයනය නතර කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත.
සහල් ආනයනය සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහල් ආනයනය නතර කර ඇති බවත් වර්තමානය වන විට අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් අවශ්‍ය සහල් තොග ලබා ගත හැකි බවයි.
පසුගිය කාරක සභා රැස්වීමකදී 2024 මහ කන්නයේ සහල් අස්වනු ප්‍රමාණය පිළිබඳ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට ඉදිරිපත් කළ දත්ත නිවැරදි නොවීම පිළිබඳවද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටි අතර එය සන්නිවේදනයේදී සිදු වූ අතපසුවීමක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. අනතුරුව මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින්, මේ වන විට නිකුත් කර ඇති දෙවන අදියරේ මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට්පත්රය සහ පෙබරවාරි මස නිකුත්වීමට පවතින තෙවැනි අදියරේ මෝටර් රථ ආනයනය සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය එකවර සලකා බලන බව පැවැසීය. නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ශානක්‍යන් රාසමාණික්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර මහත්ම මහත්මීහු මේ රැස්වීමට සහභාගි වූහ.