රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් බහලුම් 323ක් අබිරහස් ලෙස වරායෙන් එළියට පැමිණ තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙය රටේ ආන්දෝලනයට තුඩුදුන් කාරණයක්. රේගුවේ තිබෙන පරිගණක පද්ධතියේ වරායට බහලුම් රැගෙන පැමිණි නෞකාවේ නම, බහලුම් අයත් සමාගම, බහලුම් ප්‍රමාණය වගේ සියලුම තොරතුරු ඇතුළත් වෙනවා. ඒ භාණ්ඩවලට අයත් බදු මුදලත් ඒ හරහා තීරණය වෙනවා. වරාය විෂය භාර නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා, පරීක්ෂාවකින් තොරව පිටවූ බහලුම් 323 වගකීම රජය භාර ගන්නවා කියලා. ඒ කියන්නේ පරීක්ෂා නොකර වරායෙන් පිටවූ බහලුම්වල තිබෙන දේ පිළිබඳව රජය දන්නවා.
මේ බහලුම් තුන්සිය විසිතුනෙන් සියයකට ආසන්න බහලුම් ප්‍රමාණයකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ කියන්නේ ඒ බහලුම් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කළ යුතුයි. රේගු ආඥා පනතේ බහලුම්වලින් අය කළ යුතු දඩ මුදල ඇතුළු බොහෝ කරුණු කාරණා ඇතුළත් වෙනවා. කෙසේ නමුත් රේගු ආඥා පනත වෙනස් කරන්න මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාටවත් නොහැකියි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නොහැකියි. රේගු ආඥා පනතත වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවෙන් පමණයි.
මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”
රක්ෂණ ශ්රියන්ත