හාලිඇළ ඌවකැටවලවත්තේ දිවා සුරකුම් මධ්‍යස්ථානයට මුහුණ ආවරණය කරගෙන පැමිණ මිරිස් කුඩු ගසා එහි පාලිකාවගේ ගෙලබැඳි රුපියල් 290,000ක් පමණ වටිනා තාලිය සහිත රන් මාලයක් කොල්ලකෑවයි සැකපිට කාන්තාවක් ඊයේ (30) අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇළ ඌවකැටවලවත්ත ලන්දේවෙල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක යැයි පොලීසිය පවසයි.
මැය විසින් කොල්ලකන ලද තාලිය සහිත රන් මාලය සැකකාරියගේ නිවෙසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම සැකකාර කාන්තාව තවත් කාන්තාවක සමඟ සාරියකින් මුහුණ ආවරණය කරගෙන හාලිඇළ ඌවකැටවලවත්ත දිවා සුරකුම් මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ කුඩා දරුවකු බලාගනිමින් එම මධ්‍යස්ථානයේ පාලිකාව එහි සිට ඇතැයි පොලීසිය සඳහන් කළේය. පසුව එක්වරම කාන්තාවක බෝතලයක තිබූ මිරිස් කුඩුවලින් පාලිකාවගේ මුහුණට ගසා ඇති අතර, අනෙක් කාන්තාව පාලිකාවගේ මුහුණට රෙද්දක් දමා වසා ගෙන සිටියදී මෙසේ පාලිකාවගේ ගෙලබැඳි රුපියල් 290,000ක් පමණ වටිනා තාලිය සහිත රන් මාලය කොල්ලකා ඇති බවත් පොලීසිය පවසයි.
පසුව දිවාසුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව එහි කාමරයක දමා දොරගුළු දමා සැකකාර කාන්තාවන් දෙදෙනා පලාගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අනතුරුව මේ සම්බන්ධයෙන් පාලිකාව හාලිඇළ පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පරීක්ෂණ කටයුතු පවත්වා සැකකාර කාන්තාව කොල්ල කෑ තාලිය සහිත රන් මාලය සමඟ අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය. මේ සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පවසයි.