සැකකරු ස්කයිප් ඔස්සේ අධිකරණයට
නීතිඥවරයාගෙන් ඉල්ලීමක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස හඳුනාගෙන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගනේමුල්ල සංජීව නොහොත් සංජීව සමරත්න නමැති අය ඇතුළු තවත් තිදෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වන නඩුවල වැඩිදුර විභාගය මාර්තු මස 6 වැනි දිනට කල් තැබූ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා රස පරීක්ෂක වාර්තාව ඇතුළු අනෙකුත් වාර්තා පිටපත් හා පැමිණිල්ලේ අධි චෝදනා පත්‍රයේ පැහැදිලි ඡායා පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
උඩුගම්පල, නයිවල ප්රදේශයේදී පුද්ගලයකුගෙන් රුපියල් 75,000ක මුදලක් කොල්ලකෑම හා ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගනේමුල්ල සංජීව නොහොත් සංජීව සමරත්න නමැත්තා ඇතුළු තවත් තිදෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩු ගොනු කරනු ලැබ තිබිණ. මෙම නඩුවේ දෙවැනි සැකකරු වන ගනේමුල්ල සංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ලබා දීමට සිදුව ඇති ආරක්ෂාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී ආරක්ෂක අංශවලින් වාර්තා කැඳවන ලෙසද විනිසුරුවරයා නියම කර තිබේ.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ප්‍රභාත් දිසානායක මහතා පැවසුවේ, ආරක්ෂක අංශවලින් මේ පිළිබඳව උපදෙස් ලබාගෙන ඉදිරියේදී කටයුතු කිරීමට පියවර ගන්නා බවයි. එතෙක් සැකකරුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. දෙවැනි සැකකරු වෙනුවෙන් කරුණු දක්වා සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්ත බණ්ඩාර මහතා පැවසුවේ, තම සේවාදායකයා අත්තනගල්ල, මීගමුව හා කොළඹ යනාදී අධිකරණවලට ඉදිරිපත් කරන නමුත් මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවන බවයි. පූර්ව නඩු විභාගය සඳහා විස්තර ලබාගත යුතුව ඇති බැවින් ඔහු අධිකරණයට කැඳවීමට පියවර නොගැනීමෙන් ඒ පිළිබඳව බාධා පැමිණ ඇති බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
තවද තම සේවාදායකයාට එරෙහිව දණ්ඩ නීති සංග්රහයට අදාළව නඩු පවරා ඇති බවත්, අනෙකුත් සැකකරුවන්ට මේ වන විට ඇප ලබා දී ඇති බවත් සඳහන් කර සිටි ජනාධිපති නීතිඥවරයා, ඔහුට පැවැති ජීවිත තර්ජන හේතුවෙන් රටින් පලා ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ආගමන විගමන නීතියට අනුව විමර්ශන සිදුකොට මේ වන විට මන්නාරම අධිකරණයෙන් මුදා හැරීමට ද පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය. තම සේවා දායකයාට මේ වන විට නඩු කිහිපයකටම ඇප ලබා දී තිබෙන අතර, ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තියට අනුව පමණක් ඔහුට එරෙහිව නඩු පැවරීමට නොහැකි බැවින් ඔහුව ඇප මත මුදා හරින ලෙසත් අධිකරණයෙන් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
රජයේ අධිනීතිඥ ප්‍රභාත් දිසානායක මහතා පැවසුවේ, ඉදිරි දිනයේදී මේ පිළිබඳව සියලු කරුණු සොයා බලා වාර්තා කිරීමට පියවර ගන්නා බවයි. ලක්ෂ්මන් පෙරේරා, ඉවෝන් ඉරාෂා, බුද්ධික මල්ලවාරච්චි, ශිරාණි දිසානායක යන නීතිඥ මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්ත බණ්ඩාර මහතා දෙවැනි චුදිත වෙනුවෙන් පෙනී සිටියහ.
නීතිඥ සංජය ගුණසේකර මහතා තුන්වැනි හා හතරවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් අධිකාරී මහතා සමඟ වේයන්ගොඩ පොලීසියයි.