වෙළෙඳ සේවා ‘ඊ’ කාණ්ඩයේ ඕවර 25 ලීග් තරගාවලියට 22 වැනි වරටත් ඩේවිඩ් පීරිස් සමාගම් සමූහය අනුග්‍රාහකත්වය ලබා දී ඇත. මේ වන විට තරගාවලිය ආරම්භ වී ඇති අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. කාණ්ඩ තුනක් යටතේ කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගිවී සිටිති.
ජෝජ් ස්ටුවර්ට් හෙල්ත්, මොරිසන්ස් පොදු සමාගම හා ජෝන් කීල්ස් ‘ඒ’ කාණ්ඩය නියෝජනය කරන අතර, ‘බී’ කාණ්ඩයෙන් හේලීස් ගෲප් (බී), අමානා තකාෆුල් හා ජාතික සංවර්ධන බැංකු (ඒ) කණ්ඩායම්ද, ‘සී’ කාණ්ඩයෙන් සෙලින්කෝ රක්ෂණ සහ ජනශක්ති සමූහ කණ්ඩායම ද පිටියට පිවිසීමට නියමිතය. හෙට (1) ආරම්භ වන අර්ධ අවසන් තරග 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග 8 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරගය ලබන මස අවසන් සතියේ පැවැත්වීමට නියමිත බව පසුගියදා කොළඹ වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩා අංගණයේ පැවති මාධ්‍ය හමුවේදී වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ඩී. අල්විස් මහතා පැවසීය.
දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා හා අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ඩේවිඩ් පීරිස් සමාගම් සමූහය විසින් කුසලාන හතරක් පිරිනැමීමට නියමිතය.
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් රෝහාන් සෝමවංශ, ඩේවිඩ් පීරිස් සමාගම් විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා, විධායක අලෙවි නිලධාරී අජන්ත ප්‍රේමසිරි හා උප ප්‍රධාන විධායක නිලධාරී මංජුල ඩී. අල්විස් මේ අවස්ථාවට එක්විය.