Tuesday, May 6, 2025
Home » නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක් ගබඩාවක දිරලා

නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක් ගබඩාවක දිරලා

-2023 ලෝක ආහාර වැඩසටහනේ ප්‍රදානයක්

by sachintha
February 3, 2025 1:11 am 0 comment

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීමට 2023 වර්ෂයේ දී මෙරටට ලැබුණු සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව අනාවරණය වේ.

මෙම සිද්ධිය පිළිබඳ හෙළිවීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් ඉකුත් 31දා එම ගබඩාවේ කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය. වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවූ මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහි දී සඳහන් කළහ.

2023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍යවලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හි දී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම නැවතී ඇති බව ද මෙහි දී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ.

මෙම ආහාර තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා දැනුවත් කිරීමට ද නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම පියවර ගත්හ. මෙහි දී දිස්ත්‍රික් ලේකම්වරයා රුවන් මාපලගම මන්ත්‍රීවරයාට දුරකථනයෙන් ප්‍රකාශ කළේ ‘රජය අසීරුතාවට පත්විය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පියවර නොගන්නා“ ලෙසයි. එමෙන්ම, මේ අවස්ථාවේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල්, පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේ දී අනාවරණය කරගනු ලැබීය.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර, වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT