‘තල් කොළයයි පොල් කොළයයි එකින් එකට පෙළට තබා හොඳ ලස්සන රටාවකට කළාලයක් වියමුව අපි…’
ජයවඩු විතානයන් අතින් ලියවුණු ඒ ගී පද ගායනා කරනු ලැබුවේ නන්දා මාලනිය විසිනි. එහි අන්තර්ගත වූයේ උතුර සහ දකුණ යා කරන සහෝදරත්වයයි; සිංහල දමිළ සහෝදරත්වයයි. තල් කොළයෙන් දමිළ ජනතාව ද පොල් කොළයෙන් සිංහල ජනතාව ද නිරූපණය කෙරිණි.
එහෙත්, තිස් වසරකට වැඩි අමිහිරි අතීතයක් ඇති යුදමය ඉතිහාසය මඟින් එකී සහෝදරත්වය බිඳ දමා තිබිණි: උතුරට දකුණත්, දකුණට උතුරත් අමතක වන තරමට එකී සහෝදරත්වය බිඳ දමා තිබිණි.
ගත වූ කාලය මුළුල්ලේම උතුර උතුර ලෙසත්, දකුණ දකුණ ලෙසත් පවත්වා ගැනීම බලලෝභී දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගැනීමට ප්‍රධානතම සාධකයක් විය.
එතැන් පටන් සිංහල, දමිළ, මුස්ලිම් සහෝදරත්වය යනු සාහිත්‍ය පතපොතෙහි පමණක් දක්නට ලැබුණු නිර්මාණාත්මක සාහිත්‍යාංගයක් පමණක්ම විය. භාෂාත්මක සන්නිවේදන ගැටලුව නිසා දකුණේ ජනතාවට උතුරත්, උතුරේ ජනතාවට දකුණත් අතර පොදු සන්නිවේදනය ගොඩනඟාගත නොහැකි විය.
මේ සන්නිවේදන ගැටලුව තේරුම් ගැනීමට උතුරේ යාපනයටම යා යුතු නැත. නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ ද මෙකී සිංහල, දමිළ සන්නිවේදන ගැටලුව පවතියි. මේ නිසා මෙතෙක් කලක් සිංහල සමාජය උතුරේ දමිළ ජනතාව පර්යන්තයේ සාධකයක් ලෙස ද, උතුරේ ජනතාව සිංහල ජන සමාජය පරිබාහිර සාධකයක් ලෙස ද හඳුනා ගන්නා බවක් දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය අතිශය සංකීර්ණ දේශපාලනික ප්‍රතිවිරෝධතා මතුකරන සාධකයකි. ජාතිකත්ව ගැටලුව, ස්වයං නිර්ණ අයිතිය වැනි අතිශය බරපතළ දේශපාලනික කාරණා පසෙක ලූ විට, සිංහල – දමිළ ජන සමාජය අතර පරස්පරයක් නිර්මාණය වී තිබේ. ඉතා ඉක්මනින් මේ පරස්පරය බිඳ දැමිය යුතු ව ඇත.
පසුගියදා උතුරේ සංචාරය කළ ජනාධිපතිවරයාට එහි ජනසමාජයෙන් ලැබුණු අතිශය සංවේදී පිළිගැනීම මෙහි ප්‍රධානතම හේතුසාධකයක් ලෙස හඳුනාගත යුතු ය. ඔවුහු සියල්ලෝ ම සමගියෙන්, සහෝදරත්වයෙන් එකට ජීවත් වීමට කැමැත්ත පළ කරන්නෝ වෙති.
ජනවාර්ගික ගැටුමේ ආරම්භය සහ වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවිට, ඊට හේතු වූ ප්‍රධාන සාධක හතරක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පළමුවැන්න: ජනවාර්ගික දේශපාලනයයි. එනම්: සිංහල, දමිළ, මුස්ලිම් යනුවෙන් ජනවර්ග මත දේශපාලන පක්ෂ නිර්මාණය වීමයි.
දෙවැන්න: භාෂාව තුළ දේශපාලනයයි. තවමත් දේශපාලනික නාමකරණයේදී සිංහල දේශපාලනඥයන් සහ දමිළ දේශපාලනඥයන් යනුවෙන් වර්ගීකරණය වීම මීට උදාහරණ කොට හඳුනාගත හැකි ය.
තුන්වැන්න: අධ්‍යාපනය තුළ දේශපාලනයයි. තවමත් විෂය නිර්දේශ තුළ, පෙළපොත් සම්පාදනය තුළ සහ සම්පත් බෙදී යෑම තුළ මෙකී දේශපාලනික විපරිණාමය සහ වෙනස්කම පවතියි.
සිවුවැන්න: රැකියා සහ භූමියේ අයිතිය සම්බන්ධ ගැටලු වේ.
තිස් වසරක් පුරා ලේ හැලුණු යුද ඉතිහාසය තුළ පිළිතුරු සොයාගත නොහැකි වූයේ ඉහත සාධක මත ගොඩනැඟුණු ගැටලු හේතුවෙනි.
අවසනට සිදු වූයේ උතුරේත්, දකුණේත් වෙන වෙනම මිනීකඳු ගොඩගැසීම පමණකි. මියගිය අයට සාධාරණය පිණිස අප විසින් කරනු ලැබුවේ උතුරේ මියගිය අයව දමිළ සමාජය විසින් උතුරේ යුද විරුවන් ලෙස නම් කිරීම ය. දකුණේ
මියගිය අයට දකුණේ රණවිරුවන් ලෙස නාමකරණය කෙරිණි. ඒ කිසිවකින්වත් මියගිය අයට සාධාරණයක් ඉටු නොවිණි.
රටටම බලපෑ ඇතැම් තීරණාත්මක අවස්ථාවලදී උතුරත්, දකුණත් සමගිව අත්වැල් අල්ලා පහන් පත්තු කළ ඉතිහාසයක් ඇතත්, කිසි දිනක ඒ සහෝදරත්වයේ පාලම ගොඩනැඟුණේ නැත.
උතුරේ මෙන්ම දකුණේ ද සිංහල – දමිළ සහෝදරත්වය ගොඩනැඟී තිබුණේ සාහිත්‍ය කෘතිවල පමණකි. එයින් වාර්ගිකත්වය මත දේශපාලනික පක්ෂ ගොඩනඟා මිනිසා භේදභින්න කිරීම වෙනුවට සාමූහිකත්වය මත එක්විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු ය. එය අන් කවරකටත් වඩා ඉතා ඉක්මනින් කළ යුතු කාරණයක් වී ඇත. උතුරේ සමාජයෙන් අපට දෙන පණිවිඩය එයයි.
එබැවින් උතුරේ දමිළ සාමාජිකයාගේ හෘදයසාක්ෂියත්, දකුණේ සිංහල සාමාජිකයාගේ හෘදයසාක්ෂියත් එකිනෙකා තේරුම් ගන්නා සමාජ ක්‍රමයක් නිර්මාණය විය යුතුව ඇත. ඒ සඳහා පදනම සකස් විය යුතු බව යළි යළිත් අපට අවධාරණය වෙමින් පවතියි. එබැවින් එය පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක් බව අපි යළි යළිත් අවධාරණය කරමු.
මෙකී අදහසම මීට බොහෝ කලකට පෙර මහගම සේකර මෙලෙස ලියා තිබිණි:
‘කාසිම්, ලයනල්, රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා.
අපි ඔක්කොම එකතු වෙලා
ලෝකය සුන්දර තැනක් කරමු
මීට වැඩිය…’
එබැවින් වර්තමානයේදී සාහිත්‍යයට වඩා දුර දැකිය හැකි දේශපාලනික දැක්මක් අපට අත්‍යවශ්‍ය වී තිබේ.