හිනිඳුම, මහාබෝධියවත්ත ප්‍රදේශයේ පිහිටි දිසාරා ගෙස්ට් නමැති නවාතැන්පොළේදී එහි හිමිකරු ඇතුළු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම පිටුපස ඇත්තේ පැවති රජයේ ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් සිදුකළ රට රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙම ත්‍රිත්ව ඝාතනය පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේදී සිදුව තිබුණි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකරනු ලැබීය. එහිදී ඝාතනය වන්නේ පනන්ගල මහබෝධිවත්තේ පදිංචිකරුවෙක් වන ඉදුනිලු සමන් කුමාර (55) නමැති දිසාරා ගෙස්ට් ආයතනයේ හිමිකරු, හිනිඳුම නැවතිමුල්ලේ පදිංචිකරුවෙක් වන චතුරංග කුමාර සහ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැති අයෙකි.
දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඝාතනය වූ තිදෙනා අතර සිටින අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැත්තා විදේශගත වීමේ අපේක්ෂාවෙන් රුපියල් ලක්ෂ 15ක්ද, ඔහුගේ සහෝදරයා විදෙස්ගත වීමේ අපේක්ෂකාවෙන් රුපියල් ලක්ෂ 13ක්ද දිසාරා ගෙස්ට් ආයතනයේ හිමිකරු මඟින් හිනිදුම පදිංචි ප්‍රියන්ත නමැති අයෙකුට ලබාදී ඇති බවය. එම පුද්ගලයා පෙනී සිට ඇත්තේ පැවති රජයේ හිටපු ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙක් ලෙසිනි.
ඒ ගැන විශ්වාසය තබා මුදල් ලබාදී ඇති බව සඳහන්ය. ආණ්ඩු වෙනසක් සිදුවන තුරුම රට රැකියාව නොලැබීම හේතුවෙන් ඇමැති ලේකම්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයාට නෙවිල් නමැති අය විසින් දුරකතන ඇමතුම් දෙමින් මුදල් ඉල්ලා කරදර කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඊට විදෙස්ගතව සිටින දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දාගේ නමද ඈඳී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අම්බලන්ගොඩ නෙවිල් නමැත්තා එහිදී කරන්දෙණිය සුද්දාට තමා බිය නැති බව පවසමින් ඇමැති ලේකම් බව කියන පුද්ගලයාට දොස් නඟා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
රට රැකියා සඳහා මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් ඇමැති ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාගෙන්ද මුල් අවස්ථාවේදී විමර්ශන කණ්ඩායම් විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැඩිදුර විමර්ශනයේදී හෙළිවූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ඇමැතිවරයාගේ ලේකම් බව කියන පුද්ගලයාව පොලීසිය සොයන විට ඔහු සැඟව සිටින බව පෙනී ගොස් තිබේ.
මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ඔහු ඉතා වැදගත් තොරතුරු රැසක් දැන සිටින බවට පොලීසිය විශ්වාස කරයි. එබැවින් ඔහු සැඟව සිටින්නේ යැයි සැකකරන ස්ථාන පොලිස් පරීක්ෂාවටද ලක්කර ඇත. එහිදී පොලීසියට විවිධ පාර්ශ්ව ඔස්සේ ඔහු පණිවුඩ යොමුකර ඇත්තේ පොලීසියට භාරවීමට සූදානමින් සිටින බවය. ඒ අනුව අද හෙටම ඔහු පොලීසියට භාරවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මෙම ත්‍රිත්ව ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එහිදී අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම වෙඩි තැබීම මෙහෙයවූයේ කවුරුන්දැයි පැහැදිලි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති බව ද එම නිලධාරියා කීය. වෙඩික්කරු ඉලක්කර ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන නෙවිල් නමැති අය බව පෙනී යන බවද එම නිලධාරියා කීය.
ගයාන් කුමාර වීරසිංහ