ඉන්දීය රජයේ 2025 වර්ෂයට අය වැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වෙන්කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 300ක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන අතර පසුගිය වසරේදී ඉන්දීය අය වැයෙන් ශ්‍රී ලංකාවට වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245ක මුදලට සාපේක්ෂව විශාල වර්ධනයක් බව ද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙම මුදල වෙන්කර ඇති බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
2025 වර්ෂය සඳහා වන ඉන්දීය අය-වැය පෙරේදා (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් වන අතර එම අය වැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති බව ද එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇති බව ද වාර්තා වෙයි. ඉන්දීය අය වැයෙන් විදෙස් රටවල්වලට වෙන් කළ වැඩිම මුදල ලෙස දැක්වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි. එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන් වන අතර ගියවර ඉන්දීය අය වැයෙන් භූතානය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන මූල්‍යාධාර ඉහළ නංවා තිබීම ද, මෙවර ඉන්දීය අය-වැය යෝජනාවලියේ විශේෂත්වයක් වන අතර ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව මෙවර අය-වැය ඉදිරිපත් කර ඇත්තේ, මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම අරමුණු කර ගනිමිනි. ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක වාර්ෂික ආදායමයක් උපයන පුද්ගලයන් බදුවලින් නිදහස් කරන බවට, අය-වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරිය සඳහන් කර තිබේ.
මෙවර ඉන්දීය අය-වැය යෝජනාවලියේ ප්‍රබලතම යෝජනාව වන්නේ, සියලු කාණ්ඩ සඳහා වන ආදායම් බදු කප්පාදුවයි. දිළිඳු ජනතාව, තරුණයන්, ගොවීන් සහ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ යෝජනා ද, ඊට ඇතුළත් වේ. පෞද්ගලික අංශය සමඟ එක්ව නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද, මෙවර වැඩි මුදලක් වෙන්කර තිබෙන අතර විදෙස් රටවලට ආධාර ලබාදීම සඳහා ඉන්දියාව මෙවර වෙන්කර ඇති මුදල, රුපියල් බිලියන 54.8 කි.
පසුගිය වසරේ ඒ සඳහා වෙන්කර තිබුණේ, ඉන්දීය රුපියල් බිලියන 48.8 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම වෙනුවෙන් 2025 අය වැයෙන් ඉන්දියාව, රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර තිබෙන අතර පසුගිය වසරේ ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කළ මුදල, රුපියල් කෝටි 245 කි. ඉතුරුම් සහ ආයෝජන ඉහළ නංවන, ජනතාවාදී අය-වැයක් මෙවර ඉදිරිපත් කළ බව ද එය, ශ්‍රම බළකාය වෙනුවෙන් සිය ආණ්ඩුව දක්වන ගෞරවයක් බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරයි.
මහින්ද අලුත්ගෙදර