ජාතික නිදහස් දින උත්සවය මෙවර පැවැත්වෙන්නේ හැත්තෑහත් වැනි වතාවට ය.
අප විසින් ‘නිදහස් උත්සවය’ ලෙස සමරනු ලබන්නේ යටත්විජිත පාලනයෙන් අප රට ස්වදේශික පාලන ක්‍රමයකට මාරු වී ගත වූ කාලපරිච්ඡේදයයි. වඩා සරලව කිවහොත්: අවසානයේ අප රට පාලනය කළ ඉංග්‍රීසි යටත්විජිත පාලනයෙන් අප රටේ පාලනය ස්වදේශිකයන් අතට පත්වී මේ ගෙවෙන්නේ හැත්තෑහත් වැනි වසරයි.
‘පුනරුද යුගයට පෙළගැසෙමු’ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන නිදහස් දින උත්සවය අන් වසරවල පැවැත්වූ නිදහස් දින උත්සවවලට වඩා අතිශය සුවිශේෂ ය.
‘පුනරුදය’ යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය වනුයේ ‘Renaissance’ වේ. එහි තේරුම ‘නැවත ඉපදීම’ යන්නයි. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹී, බටහිර යුරෝපය පුරා පැතිරුණු සංකල්පයකි. දාහතර වැනි ශතවර්ෂයේදී සංස්කෘතික ප්‍රවාහයක් ලෙස ඇරඹි මේ සංකල්පය පසුව සමාජතලයේ වෙනස්කම් රැසක් ඇති කළේ ය.
එසේ නම්, ජාතික නිදහස් දින උලෙළ හා ‘පුනරුද යුගයට පෙළගැසෙමු’ යන තේමා දෙක එකිනෙකට සමපාත වන්නේ කෙසේ ද යන්න විමසා බලමු.
වර්ෂ 1948 පෙබරවාරි 4 වැනි දින ලංකාවට නිදහස ලැබුණේ එකසිය තිස්තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයට යටත්විජිතයක්ව පැවතීමෙන් අනතුරුව ය. නිදහස් දිනය යනු ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික උත්සවයකි. එහෙයින් බලයේ සිටින කවර හෝ ආණ්ඩුවක් වුව ද මෙකී සාම්ප්‍රදායික උත්සවය නිල වශයෙන් පැවැත්විය යුතු ය. එය ජාතික වැදගත්කමකින් යුතු දිනයක් වන අතර, ජාතික නිවාඩු දිනයක් ලෙස ද සැලකේ.
ශ්‍රී ලංකාවට ජාතික නිදහස අත්කර දීම වෙනුවෙන් වූ අරගලයේ නිදහස් වීරයන්ගේ ලැයිස්තුව ඉතා දිගු එකකි. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, එකී ජාතික විරුවන්ගේ ලැයිස්තුව පෙළගැසී තිබිණි. එනිසාම ඔවුන්ගේ නම් ද පාසල් පෙළ පොතට ඇතුළත්ව තිබිණි. එහෙත් පුනරුද යුගයේ මේ ජාතික විරුවන්ගේ ලැයිස්තුව තවත් දිගු විය යුතු බව අපගේ හැඟීමයි. ඊට හේතුව යටත්විජිතවාදයෙන් පමණක් නොව, නව යටත්විජිතවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වූ බැවිනි. පුනරුද යුගය යනු ඒ දෙවැනි නිදහස් අරගලයයි.
යටත්විජිත පවත්වාගෙනගිය රාජ්‍යයන් එකී යටත්විජිත රාජ්‍යයන්ට දේශපාලනික නිදහස හිමි කර දුන්න ද ඔවුන්ගේ ආර්ථික සහ සංස්කෘතික ප්‍රතිපත්ති එකී යටත්විජිත රාජ්‍ය තුළ තවදුරටත් බලාත්මකව පවත්වාගෙන යනු පිණිස අනුගමනය කරන්නා වූ ක්‍රියාවලිය නව යටත්විජිතවාදය ලෙස දේශපාලන විද්‍යාවේදී අර්ථකථනය කෙරේ.
පුනරුද යුගයට පෙළගැසීමේදී මෙකී නව යටත්විජිතවාදයෙන් ද අත්මිදීම අත්‍යවශ්‍ය කාරණයකි. ගෙවුණු වසර හැත්තෑහත පුරා ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික අධිරාජ්‍යවාදයෙන් මුදාගැනීම සඳහා අරගලයක් මේ බිමේත් පැවති නිසාය.
එහෙයින් නිදහස් සටනේ පුරෝගාමීන් ලෙස පෙළගැසෙන වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වීර පුරන්අප්පු, පොන්නම්බලම් රාමනාදන්, ආනන්ද කුමාරස්වාමි, අනගාරික ධර්මපාලතුමා යනාදී දීර්ඝ ලැයිස්තුවට පුනරුද යුගයේ ජාතික වීරයන්ගේ නාමාවලිය ද එකතු විය යුතු ය. එහිදී ලංකාවට ජල විදුලිය හඳුන්වා දුන් ‘ජල විදුලියේ පියා’ යන අන්වර්ථ නාමය ලත් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර, ‘නිදහස් අධ්‍යාපනයේ පියා’ ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, හෙළයේ මහ ගත්කරු ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ, සාහිත්‍ය පරපුරකට මඟ කියූ මහගමසේකර, දෙමළ ජාතික බුද්ධිමතුන් වූ නඩේස අයියර්, සිවා සින්නතම්බි වැනි දීර්ඝ ලේඛනයක් ඒ සඳහා ඉදිරිපත් කළ හැකි ය.
මෙනයින් ජාතික නිදහස් දින උලෙළේදී ‘පුනරුද යුගයට පෙළගැසෙමු’ යන්න වඩාත් අර්ථපූර්ණ වන්නේ ඒ කියවීම වඩාත් හොඳින් තේරුම් ගැනීමෙන් පමණකි. එසේ නැතිව මෙය සාම්ප්‍රදායික නිදහස් දින සැමරීමක් නොවේ; ජාතික ධනය විනාශ කරමින් පවත්වන තවත් එක් සංදර්ශනයක් පමණක් ද නොවේ. එමෙන්ම විදේශ රටවලින් ණයට ගෙන පවත්වන සංදර්ශනයක් ද නොවිය යුතුය.
මේ අනුව නිදහස් දින උලෙළේ තේමාව වඩා හොඳින් කියවා ගැනීම වඩාත් අත්‍යවශ්‍ය වූ සමාජ, දේශපාලනික කාරණයක් යැයි අපි කල්පනා කරමු.
ඉතා සරලව කියන්නේ නම්: ‘පුනරුදය’ යනු ගැඹුරු දේශපාලනික පරිවර්තනයකි. එය අතීතකාමී දේශපාලනයේ සිට නූතන සමාජ, දේශපාලනික පරිවර්තනය දක්වා ඉතා ගැඹුරින් විමසීමෙන් කියවාගත යුත්තක් වන අතර, ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද රැසක් ඇතුළත් වන බව සඳහන් කර තැබිය යුතුය.
සැබැවින්ම මෙය ගැඹුරු සමාජ, දේශපාලනික පරිවර්තනයකට මුලපිරීමකි.