Home » ගම්පොළ දී සිසුවකු පැහැරගෙන යෑම අසත්‍ය පුවතක්

ගම්පොළ දී සිසුවකු පැහැරගෙන යෑම අසත්‍ය පුවතක්

-සිසුවෙක් විශාල බොරුවක් ඇත්ත කිරීමේ වෑයමක යෙදිලා

by sachintha
February 4, 2025 1:00 am 0 comment

ගම්පොළ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයකින් පැහැරගෙනයාමේ සිද්ධිය එම පාසල් සිසුවා විසින් පොලිස් ස්ථාන තුනක ඉහළ නිලධාරීන් 12ක් සමඟ පොලිස් නිලධාරීන් තිහක්, මවුපියන් ඇතුළු විශාල පිරිසක් නොමග යැවූ අසත්‍ය පුවතක් බව පරීක්ෂණ පවත්වන ගම්පොළ, ඇත්ගාල පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මෙසේ පැහැර ගත් බව කියන ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවා පෙරේදා (2) අලුයම එකයි තිහට පමණ හැටන් මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු හා මවුපියන් සමඟ ගම්පොළ, ඇත්ගාල පොලීසිය වෙත පැමිණ තමා පැහැරගෙන ගිය බව ප්‍රකාශ කර තිබුණි.

ගම්පොළ නගරයේදී සිදුවූ මෙම පැහැරගැනීමේ සිද්ධිය සමඟ ඇත්ගාල පොලීසියට යාමට පෙර මෙම පිරිස ගම්පොළ මූලස්ථාන පොලීසියට ද පැමිණ තිබුණි.

උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා ගම්පොළ නගරයේ අධ්‍යාපන ආයතනයක අතිරේක පන්තියකට සහභාගි වී සෙනසුරාදා සවස තුනයි තිහට නිවෙස බලා යමින් සිටියදී තිදෙනකු විසින් තර්ජනය කර වෑන් රථයකින් හැටන් දෙසට පැහැරගෙන ගිය බව මොහු පවසා තිබුණි.

හැටන් නගරය ආසන්නයේදී කිසිවකුත් නොමැති අවස්ථාවකදී වෑන් රථයේ ජනේලයකින් පැන ත්‍රිරෝද රථයක් නවතා එම සිද්ධිය පැවසූ පසු එම ත්‍රිරෝද රථකරු මෙම සිසුවා හැටන් පොලීසිය වෙත භාරදී තිබුණි.

ගම්පොළ, ඇත්ගාල පොලීසිය මඟින් මෙම සිද්ධිය විමර්ශනය කිරීමේදී උසස් නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විස්සකින් සමන්විත පොලිස්‌ කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ සිදු කර තිබුණි.

ඇත්ගාල පොලිස් ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතා මෙම සිසුවාගේ මව සමඟ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනි ඇතුළු නිලධාරි කණ්ඩායමක් සමඟ සිසුවා ද රැගෙන ඔහු ගිය මාර්ගය පරීක්ෂා කර ඇත. මේ සඳහා ගම්පොළ සිට නාවලපිටිය දක්වා සිසීටීවී කැමරා 12ක් පරීක්ෂාවට ලක් කර තිබේ. පැහැරගෙන ගියැයි කියන එම වෑන් රථය හා ළමයාගේ ගමන් මග එමඟින් පරීක්ෂා කර තිබුණි. මෙම සිසුවා ගම්පොළ නගරයේ සිට නි‍ෙවස බලා යාමට නාවලපිටිය බස් රථයක ගමන් ගත්තා යැයි පැවසුව ද එවැනි බසයක නොගොස් ඇති බව හෙළි වී තිබුණි.

එසේම එම ළමයාට තර්ජනය කළැයි පැවසූ තිදෙනා හෝ වෑන් රථය පිළිබඳව ද හෙළිවී නොමැති නිසා පරීක්ෂණ වෙනත් අතකට යොමු කර ළමයා අතිරේක පන්තියට ගිය අධ්‍යාපන ආයතනය මඟින් තොරතුරු සොයා ඇත.

එසේම එක් සීසී ටීවී කැමරාවක මෙම සිසුවා තවත් ඔහුගේ යහළුවකු සමඟ ගමන් ගන්නා අයුරුත් ඔවුන් පසුපස පැමිණෙන කාන්තාවක් පිළිබඳවත් සටහන් වීම සමඟ සිසුවාගෙන් ඒ පිළිබඳව දීර්ඝව විමසා ඇත.

වයසට වඩා බොරුව හා රැවටිලි වදන් හා තමා කියනා දේ තහවුරු කරන මෙම ළමයා පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ ස්ථානාධිපති කැකුළන්දර මහතා වෙනත් මඟකට යොමුව ළමයාගෙන් ආදරයෙන් කරුණු දැන ගැනීමට නොහැකි බව දැන “මොහු කූඩුවට දානවා” යැයි බය කර, “අපි කැමරාවලින් ඔක්කොම හොයාගෙන තියෙන්නේ ඇත්ත නොකීවොත් අදම හිරගෙට යවනවා” යැයි පවසා ඇත. ඒ සමඟ බිය වූ සිසුවා ඇත්ත ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත.

එම සීසීටීවී කැමරා දර්ශනවලට අනුව මොහු පිටුපස පැමිණ ඇත්තේ ඔහුගේ යාළුවාගේ මවය. ඒ අනුව එම යහළුවා හා මවගේ විස්තර අධ්‍යාපන ආයතනයෙන් ගෙන ඇය සොයා ගොස් මේ පිළිබඳ විමසීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ අමතර පන්තියේ සිට තිදෙනාම බස් රථය තෙක් පැමිණි බවත් අතරමඟදී කිසිවකුත් මෙම සිසුවාට තර්ජනයක් හෝ වෑන් රථයකට නොදමා ගත් බවත්ය. එසේම මෙම සිසුවා උලපනේ නි‍ෙවසට යාම සඳහා නාවලපිටිය බස් රථයකට නොව හැටන් බසයකට ගොඩ වූ බව ද ඇය සඳහන් කර ඇත.

ඒ අනුව මෙම සිසුවා ඉතිරි විස්තර සඳහන් කරමින් පවසා ඇත්තේ තමාට හැටන් බසය තුළ නින්ද ගිය බවත් ඇහැරෙනවිට හැටන් නගරය ආසන්නයට ගොස් ඇති බවත්ය. ඒ සමඟම බසයෙන් බැස ඇති මෙම සිසුවාට සිහි වී ඇත්තේ හොඳටම හවස් වෙලා නිසා නි‍ෙවසේ අයට කුමක් කියන්නද යන්නය.

දැඩි ලෙස පියාට බය ඇති මොහු පියාගෙන් ගුටි කන්න වනවා යැයි සිතා ඊළඟට කර ඇත්තේ මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක් නවතා තමා පැහැරගත් සිද්ධියක් ඔහුට පැවසීමය.

ඒ අනුව එම ත්‍රිරෝද රථ හිමිකරු, ඔහුගේ දුරකතනයෙන් සිසුවාගේ මවුපියන්ට මෙම සිද්ධිය පවසා දරුවා හැටන් පොලීසිය වෙත භාරදී ඇත.

මේ ආකාරයට මෙම ළමයා පොලීසි තුනක් සමඟ ඉහළ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 30ක්, මවුපියන් ද අධ්‍යාපන ආයතනය ද නොමඟ යැවීම මෙන්ම ජීප් රථ තුනක්, පොලිස් ත්‍රිරෝද රථ දෙකක්, හැටන් පොලීසියේ නිලධාරීන් හා ජීප් රථ හා රාජ්‍ය නිලධාරීන්ගේ දින දෙකක වෙහෙසකර වියදමක් කිරීමට මෙසේ විශාල බොරුවක් අති සාර්ථකව කිරීම පිළිබඳ ඇති වූ නරක සිතුවිල්ල හොඳ මාර්ගයට ගැනීම සඳහා ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතා විසින් මෙම සිසුවා උපදේශන සේවාවකට යොමු කර මනස නිරවුල් කරදීමට කටයුතු කරමින් සිටියි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, සහකාර පොලිස් අධිකාරි, දුෂ්‍යන්ත හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහි පරීක්ෂණ සිදු කළහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT