විශ්වයම අතැඹුලක් සේ ඉතා ක්ෂණිකව, සරලව, සුළු මොහොතකින් ලෝකයේ රටවල් දෙකක් යා කරන මට්ටමට සන්නිවේදන තාක්ෂණය දියුණු වී ඇත. එනම්: මානව සමාජයේ භෞතික පරතරය එලෙසම තබාගෙන මානසික පරතරය අවම කරවීමට සමත් තාක්ෂණික යුගයක් අප හමුවේ පවතියි.
ලෝකයේ ඇතැම් රටවල සිදු කර ඇති ආකාරයට වයස අවුරුදු දහඅටට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ හෝ සීමා කිරීමේ නීතියක් ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුම්වත් කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය පසුගියදා යෝජනා කළේ ය. ඉකුත් වසරේදී වයස අවුරුදු දහඅටට අඩු දරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සියදිවි නසාගෙන ඇති බවත්, ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතය හේතු වී ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබිණි. ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කරන පරිදි, නූතන ඩිජිටල් ලෝකයේ සමාජ මාධ්‍ය එක්වර තහනම් කළ හැකි ද යන්න ගැටලුවක් වුවත්, එය එක්තරා අන්දමක ප්‍රශස්ත යෝජනාවක් ලෙස අපි හඳුනා ගනිමු.
තහනම් කිරීම සහ නියාමනය කිරීම අතර ඇත්තේ ඉතා බරපතළ වෙනස්කමකි. ‘තහනම් කිරීම’ යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය‘Prohibited’යන්නයි. යම් තැනැත්තකුට යම් ක්‍රියාවක් කිරීමට නියෝග කරන්නා වූ හෝ යම් ක්‍රියාවක් කිරීමෙන් වළක්වන්නා වූ හෝ අධිකරණමය ප්‍රතිකර්මයක් තහනමක් ලෙස සරලව හැඳින්විය හැකි ය. එය නීතිමය ප්‍රතිපාදනයකි. ඒ අනුව තහනම් යැයි හැඟවෙන යමක් කළ අයකුට නීතිප්‍රකාරව දඬුවම් කළ හැකි ය.
නියාමනය යනු ඊට වඩා වෙනස් තත්ත්වයකි. ‘නියාමනය’යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය ‘Regulation’ යන්නයි. එමඟින් යම් කිසිවක ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, යමක් වෙනස් කිරීමට ඉඩ නොදීම, යමක් සැලසුම් කර ඇති ආකාරයෙන් සිදු වේ දැයි නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවර ගැනීම වැනි අර්ථ රැසක් නිරූපණය වේ. ගැඹුරු න්‍යායාත්මක අර්ථයෙන් එය පැහැදිලි කරන්නේ නම් නියාමනය යනු නීති රීති සහ ප්‍රවණතා සමූහයකට අනුව සංකීර්ණ පද්ධති කළමනාකරණ ක්‍රියාවලියයි.
එබැවින් නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීමකට වඩා නියාමනයක් සහ ඒ සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනයක් කළ යුතුව ඇතැයි අපි ද අපේක්ෂා කරමු.
පසුගියදා බලයට පත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එරට ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට කටයුතුකොට, පසුව ඒ තීරණය ක්‍රියාත්මක කිරීම කල්දැමුවේ ය. උතුරු කොරියාවේ අන්තර්ජාල භාවිතය සීමාසහිත වී ඇති අතර, එය ද කිසියම් ආකාරයක නියාමනයකට ලක් කරන ක්‍රමවේදයක් සකස් කොට තිබේ. එරිත්‍රියාව ද අන්තර්ජාල භාවිතය සීමාසහිත ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වන රටකි. මහජන චීනයේ ද අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතය හා සමාජ මාධ්‍ය ජාල භාවිතය විවිධාකාර මට්ටමින් සීමා කර ඇති අතර, අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ අන්තර්ජාල පොලීසියක් ද හඳුන්වා දී ඇත. සවුදි අරාබිය ද ඉරානය ද සිරියානු ජනරජය ද කිසියම් මූලධාර්මික පදනමක් මත අන්තර්ජාල භාවිතය සීමාකොට තිබේ.
කෙසේ වෙතත් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය යනු, වාරණය ප්‍රායෝගික නොවන මාධ්‍යයක් බව නූතන ඩිජිටල් ලෝකයේ පරිගණක හසුරුවන ඕනෑම අයකු දන්නා කාරණයකි. එක් මාධ්‍යයක් අවහිර කළ විට එයට ප්‍රවේශ වීමට වෙනත් පරිබාහිර මාධ්‍ය ඕනෑතරම් ඇති බව නූතන ජන සමාජය හොඳින් දනී. ශ්‍රී ලංකාවේ ද සමාජ මාධ්‍ය සීමා කළ නොයෙක් අවස්ථාවල වෙනත් ක්‍රමවේද ඔස්සේ අප ඒවාට ප්‍රවේශ වූ බව අමුතුවෙන් කිවයුතු නැත.
මේ අතර, අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය යනු නරක සන්නිවේදන මෙවලමක් යැයි අප නොසිතන අතර, එහි නරක ප්‍රවණතා මෙන්ම හොඳ ප්‍රවණතා ද ඇති බව අප හඳුනාගත යුතු ය. එබැවින් ඒවා පරිහරණයට නිශ්චිත හා විධිමත් ප්‍රතිපත්ති ක්‍රමවේද සකස් වීමේ අවශ්‍යතාව ඉතා දැඩිව පවතියි.
ගෝලීයකරණය වූ ජන සමාජයක සාම්ප්‍රදායික මතවාද, ආකල්ප තුළ සිරව ගතානුගතික හෝ මූලධර්මික පදනමක් මත යම් යම් දේවල් සඳහා සීමා කිරීම්, වැට බැඳීම් එතරම් ප්‍රායෝගික නොවනු ඇත. මන්ද යත්; ලෝකය අපගේ ගතානුගතික සීමා පසුකරමින් ඉදිරියට ගමන් කර ඇති බැවිනි. එනිසා අපගේ ආකල්ප, ක්‍රියාකාරකම් හා ප්‍රතිපත්ති සැකසුම් නූතන ලෝකය සමඟ බද්ධ විය යුතු ය.
නූතන ලෝකය යා කරන, කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණික ලෝකයේ ඩිජිටල් පාලම තැනීමට ශ්‍රී ලංකාව වැනි රටක් පමාවූවා වැඩි දැයි සිතේ. එනිසා ආකල්පමය ප්‍රවණතාවකින් යුතු සමාජ වෙනසක් සඳහා ක්‍රමවේද සකස් විය යුතු අතර, එහි භාවිතය පිළිබඳව පාසල් විෂය නිර්දේශයේ සිට හැඩගැස්විය යුතුව ඇත. තාක්ෂණය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය ද අලුත් විය යුත්තකි. එය තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීමක් හෝ තාක්ෂණය වුවමනාවට වඩා බදා වැලඳ ගැනීමක් හෝ නොවනු ඇත. එකී ආකල්පමය හා සමාජමය වෙනසින් යුතුව අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිත කිරීමට ක්‍රමවේද සකස් වුවහොත්, එහි නරක ප්‍රවණතා අවම කර, ධනාත්මක ප්‍රවණතා සමාජගත කරවීමේ ක්‍රමවේදයක් නිර්මාණය වනු ඇත.
ජන සන්නිවේදනයේ පියා ලෙස විරුදාවලිය ලත් මහාචාර්ය විල්බර් ශ්‍රාම් කලකට පෙර නූතන තාක්ෂණය පිළිබඳ කියූ අදහසකින් මේ සටහන සමාප්ත කරමු:
“නවීන සන්නිවේදනය අපගේ ජීවිතවල කොටසක් බවට පත්කොට, කිසියම් තෝරා බේරා ගැනීමේ ක්‍රියාවලියකින් දැනුම රැස් කොට, අපගේ ජීවිත සාර්ථක කරගත යුතු ය.”