Home » සත් වසරකට පෙර නිවී ගිය මහා ධර්ම ප්‍රදීපය

සත් වසරකට පෙර නිවී ගිය මහා ධර්ම ප්‍රදීපය

-මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ

by sachintha
February 5, 2025 1:35 am 0 comment

බෙල්ලන්විල රාජමහා විහාරයේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර, අපවත් වී වදාළ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ සත් වැනි ගුණානුස්මරණ පින්කම ඉකුත් 3දාට යෙදිණ. එසේම, ඉදිරි දිනවලදීත් ඒ නිමිත්තෙන් විවිධ පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

“වර්ෂ 1942 අප්‍රේල් 14 දින උපන්, ඕමන්තගේ ගිල්බට් පෙරේරා නමින් ගිහි කල හැඳින්වූ උන්වහන්සේ නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය හදාළහ. ඉනික්බිතිව, අවුරුදු 13දී බෙල්ලන්විල රජමහා විහාරයේදී බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

වර්ෂ 1967දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් උන්වහන්සේ 1972දී විද්‍යෝද්‍ය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද ලැබූහ. උන්වහන්සේ 1980දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්හ.

ධර්ම ගවේෂණ ග්‍රන්ථ රැසක් බෙල්ලන්විල විමලරතන හිමියන් රචනා කර ඇත. ‘බුදුවරු සහ බෝසත්වරු’, ‘බුද්ධාගම හඳුනා ගැනීම’, ‘බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදු පිළිමයේ විකාශය’, ‘බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය’, ‘අංගුත්තර නිකායේ බෞද්ධ අනුවාදය’, ‘බෞද්ධ මහා පුරුෂ සංකල්පය’, ‘මිනිසාගේ ආගම්’ ආදි කෘති ඒ අතර වෙයි. මේ හැරෙන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ද ග්‍රන්ථ රැසක් උන්වහන්සේ රචනා කර තිබේ.

එසේම, උන්වහන්සේ කිසිවිටෙකත් පදවි, තානාන්තර පසුපස හඹා නොගියහ. ජාතික, ආගමික ශාසනික පුනරුදය පිණිස සිය මතය අභීතව ප්‍රකාශ කළහ. එවකට පැවති රජයන් ගන්නා ලද ඇතැම් තීන්දු තීරණවලට විරුද්ධව උන්වහන්සේ නිර්භයව අදහස් ප්‍රකාශ කළේ එයින් රටට වන අයහපත දුටු හෙයිනි.

පාසල් හැර යන තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් වෘත්තීය පුහුණු පාඨමාලා රැසක්ම බෙල්ලන්විල විහාරස්ථානය තුළ ස්ථාපිත කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. එයින් පුහුණුව ලද විශාල පිරිසක් අද දෙස්, විදෙස් රැකියාවල නිරතව සිටිති. එමෙන්ම, විහාරස්ථ රථ ගාලෙන් ලැබෙන ආදායම මුළුමනින්ම එම ප්‍රදේශවාසින්ගේ හෘද, වකුගඩු සැත්කම් සඳහා ආධාර පිණිස වන ගිණුමකට හැරවීමටත් උන්වහන්සේ කටයුතු කළහ. ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආරම්භ කරමින් උන්වහන්සේ කළ මෙහෙවර අති විශාලය. මේ වන විට දහස් ගණනක් දූ පුතුන්ට සිය ගණනක් වන ආචාර්ය මණ්ඩලයක් හරහා සිංහල, ඉංග්‍රීසි භාෂාවලින් මේ හරහා දහම් දැනුම බෙදා දෙනු ලබයි.

තවද, සෑම තෙමසකට වරක්ම කළුබෝවිල හා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවාගෙන ප්‍රදේශයේ අසරණ ජනතාවට නොමිලයේ වෛද්‍ය සායන පැවැත්වීමටත් කටයුතු කෙරේ. එපමණක් නොව, වාර්ෂිකව ආර්ථික අපහසුතා ඇති පවුලකට නව නිවෙසක් ඉදිකර දීමේ එහිමියන්ගේ සංකල්පය අදටත් දායක සභාව ඇතුළු කාරක කාරකාදීහු ඉටු කරති. ඒ, අඩු ආදායම්ලාභී දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ඇතුළු පින්කම් අඛණ්ඩව ඉටු කරමිනි.

ඒ අනුව එළැඹෙන 9දා බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේදී බෙල්ලන්විල රාජමහා විහාරය හා බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනමේ සංවිධානත්වයෙන් ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වේ. එමෙන්ම, එළැඹෙන 21දා කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දේවාලේගම මේධානන්ද නායක හිමියන් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාවෙන් පසුව, පසුදින (22) දහවල් මහා සංඝරත්නය විෂයයෙහි දහවල් දානමය පින්කමක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

මෙරට දියුණු කිරීමට නම් බලය නිසා පිල් බෙදී ඇනකොටා ගැනීම වෙනුවට දේශපාලනය ඉවතලා රට, ජාතිය, ආගම වෙනුවෙන් ප්‍රතිපත්තිවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමේ වැදගත්කම උන්වහන්සේ නිරන්තරයෙන් පෙන්වා දුන්හ. 60 වසරක් පුරා ධර්ම ප්‍රචාරක කටයුතු කළ, බෙල්ලන්විල විමලරතන හිමියන් (75) ගේ අපවත්වීම පොදුවේ සමස්ත බෞද්ධයන්ටම වූ පාඩුවක් වනුයේ එහෙයිනි. සත් වසරකට කලින් අප අතරින් වියෝවූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු!”

එල්.එස්.වනසිංහ

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT