මෙලොව උපදින සෑම සත්ත්වයකුටම මරණය උරුම වන අතර, ඒ මොහොතට මුහුණදීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම බුදු දහමට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ නාඋල පිළිහුඩුගොල්ල පුරාණ විහාරාධිපති, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපනපති තලාකොළවැවේ සාරානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.
මරණාසන්න මොහොතේ කෙනෙක්ගේ චේතනා කවරාකාරද කියා කාටවත් කියන්න බෑ. සාමාන්‍යයෙන් පුහුදුන් පුද්ගලයා මැරෙනවා කියලා දැන ගන්නා විට විශාල තැති ගැන්මක්, කම්පනයක් ඇතිවන්න පුළුවන්. ඒක කාටත් පොදුයි. ඒ අතරිනුත් මරණාසන්න මොහොත සුවිශේෂයි.
කෙනෙක් මරණාසන්නව සිටින්නේ නම් බෞද්ධයන් විදිහට අප කළ යුත්තේ කුමක්ද?
මේ ප්‍රශ්නයට එක එල්ලේම මෙහෙම කරන්න කියලා පිළිතුරු දීම සුදුසු නෑ. කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් පසු කළ යුත්තේ කුමක්දැයි ඔබට තේරුම් ගැනීමට ඉඩ සැලසීම ඉතා සුදුසු බව මගේ හැඟීමයි. ඒ අනුව ‘මරණය’ පිළිබඳත්, මරණාසන්නව සිටින පුද්ගල චරිතය පිළිබඳත්, මරණාසන්නව සිටින ආකාරය පිළිබඳත් යම් පමණකට හෝ විශ්ලේෂණාත්මක අවබෝධයක් ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම බොහෝ සෙයින් වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් ‘මරණය’ කියන්නේ සම්ප්‍රාණික වූ ශරීර කූඩුව අප්‍රාණිකව වැතිර සිටීම බව මතුපිටින් පෙනෙන ලක්ෂණයක්. එවිට ඉන්ද්‍රියානු බද්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී සබඳතා නැතිවී සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ ආදිය ඉවත් වෙනවා. ඒ සියල්ලටම මරණය කියා සම්මත ව්‍යවහාරයේ යොදනවා. ඒ දෙය, සිද්ධවෙන්නට ආසන්න කාලය මරණාසන්නය ලෙස හඳුන්වනවා. ඒ තත්ත්වයට පත්වී සිටින ඕනෑම කෙනකු ගෙවූ ජීවන ප්‍රවෘත්ති සහ ඒ මොහොත පිළිබඳ අවබෝධයක් ගැනීම වැදගත් වෙනවා. ජීවන ප්‍රවෘත්ති කියන්නේ ඒ ඒ අය ජීවත්වීමට කරන ලද රැකියා, පවත්වාගෙන ගිය කුසලාකුසල පුරුදු සහ රුචි අරුචිකම්.
ඊළඟට මරණාසන්න මොහොතේ ඇතිවී තිබෙන ස්වභාවය කුමක්ද යන්නත් සලකා බැලිය යුතුයි. එම මොහොතේ ඉන්ද්‍රිය දුර්වල වෙනවා. බාහිර අරමුණු පැහැදිලි නෑ. එහෙම කෙනකුට බණ කිවුවත්, පිරිත් කිවුවත්, පිරිකර අත ගැස්සුවත් ඒ සංඥා ගන්න අපහසුයි. එවිට කවරකුට වුවද අරමුණු කළ හැකි වන්නේ මනසේ සටන් වී තිබෙන අරමුණක් පමණයි. මිය යන මොහොතේ අපේ ඉන්ද්‍රිය ප්‍රකෘතිමත් නම් අන් අයට පුළුවන් උදවු කරන්න. කළ කුසල් සිහි කර දෙන්න. බණ පිරිත් කියන්න. පිරිකර පූජා කරන්න. කරන ලද කුසලකර්ම ගැන ලිඛිතව යමක් තිබේ නම් එය කියවා දෙන්න. මේ සියල්ල රැඳී පවතින්නේ පුද්ගලයාගේ ජීවන ප්‍රවෘත්තිය අනුව බව තේරුම් ගන්න ඕනෑ.
මරණය කවර ආකාරයකින් සිද්ධ වුවත් ත්‍රිවිධ තෘෂ්ණාව දුරු කළේ නැත්තම් නැවත භවයක් ලැබෙනවා. මොහොතක් හෝ ජීවත්වීමේ අපේක්ෂාවක් තිබේ නම් ඒක තමයි භව තෘෂ්ණාව කියන්නේ. සත්ත්වයා මරණාසන්න මොහොතේ ඇති වන චුති චිත්තයට ගත් අරමුණ අනුව ප්‍රතිසන්ධියක් ලබනවා. මේ කය ඇසුරු කරගෙන චිත්ත පරම්පරාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නිසා මරණාසන්නයේ ගත් අරමුණක් ඔස්සේ අලුත් චිත්ත පරම්පරාවක් සමඟ අලුත් නවාතැනකට මාරු වෙනවා. පරණ නවාතැන වූ ශරීර කූඩුව අතහැර දමනවා. ඒක මෘත ශරීරයක්. මේ කාරණා සමඟ මරණාසන්න මොහොතේ කුමක් කළ යුතු ද යන්න තීරණය කිරීමට ධර්මානුකූල විමසීමක් යෝග්‍යයි. ධර්මයේ ඉගැන්වෙන පරිදි ඊළඟ භවය තීරණය වන්නේ අවසන් මොහොතේ ගන්නා අරමුණු අනුවයි. කෙනෙක් මිය යන අවසන් මොහොතේ අරමුණ කුසල හෝ අකුසල විය හැකියි. ඒ ඒ අරමුණු මතුවෙන ආකාරය ද දහමේ පැහැදිලි කර තිබෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචිණ්ණ කර්ම, කටත්තා කර්ම යනුවෙන් දක්වා තිබෙන්නේ ඒවායි. මේ සියල්ලටම පුද්ගලයාගේ මරණාසන්න තෙක් ජීවන ප්‍රවෘත්තිය බලපානවා. ඒ අනුව කුසල හෝ අකුසල අරමුණක් බලසම්පන්න වෙන ආකාරයට ඉස්මතු වී ප්‍රතිවිපාක ගෙන දෙනවා.
මරණාසන්න තැනැත්තන්ට පිරිත් ඇසෙන්නට සැලැස්වීම සාමාන්‍ය දෙයක්. මෙය හිංසාවක් ද?
පිරිත යනු සැදැහැවත් බෞද්ධ ජනයාගේ මුළු ජීවිතය පුරාවටම විහිදී යන විවිධ චාරිත්‍ර විධි ඇතුළත් ශාන්තකර්මයක් කියන්නත් පුළුවන්. දරුවකු මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ අංගුලිමාල පිරිතෙන් ආශීර්වාදාත්මක ආරක්ෂාව ගැනීමට පටන්ගත් බොදුනුවෙක් මරණ මංචකයේදීත් පිරිත් දේශනා කරවා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ අතර සෙත් පිරිත්, වේල් පිරිත් හෙවත් වරු පිරිත්, තිස්පෑ පිරිත්, තුන්තිස්පෑ පිරිත්, තිස්පෑ පහේ පිරිත්, සිහි පිරිත් ආදී දේශනා විවිධ හේතු කාරණා පාදකව අතීතයේ පටන් පවත්වාගෙන එනවා.
පිරිත් සජ්ඣායනා තුළින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේම ලෞකික ජීවිතයේ දුක්කම්කටුලු, රෝග පීඩා, අපල උපද්‍රව දූරිභූතකර ගැනීමටත්, සාමය සතුට වාසනාව ආදී අපේක්ෂා ඉටු කරගෙන යහපත්ව ජීවත්වීමටයි. ඒ සමඟම සසර ගමනට පහසුවක් වෙන පුණ්‍යකර්ම ද සිදු කර ගනිමින් නිවන ද ප්‍රාර්ථනා කිරීම සිදු වුණා.
එසේම, මිය යන මොහොත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ශාන්ත ස්වරයෙන් මිහිරි ලෙස සජ්ඣායනා කරන පිරිත හුරුපුරුදු වූ අය එය නිතර ශ්‍රවණය කිරීමට කැමතියි. එහෙත් එයට අනුගත නොවූ අය ද සමාජයේ සිටිනවා. ඇතැම් විට ඒ අයට පිරිත ඉමහත් කරදරක් ද විය හැකියි. මේ දෙඅංශය ගැනත් සිතන්න.
පිරිසක් එකතු වීම, ඇඬීම, වැලපීම, ආදිය මරණාසන්න අයට බලපානවාද?
මරණාසන්න මොහොතේ කෙනෙක්ගේ චේතනා කවරාකාරද කියා කාටවත් කියන්න බෑ. සාමාන්‍යයෙන් පුහුදුන් පුද්ගලයා මැරෙනවා කියලා දැන ගන්නා විට විශාල තැති ගැන්මක්, කම්පනයක් ඇතිවන්න පුළුවන්. ඒක කාටත් පොදුයි. ඒ අතරිනුත් මරණාසන්න මොහොත සුවිශේෂයි. එවන් අවස්ථාවක මෙතෙක් කල් තමන් ගොඩනඟාගත් වටපිටාව එකවර අතහැරීමට සිදු වෙනවා නේද කියා බාහිරට නොපෙනෙන බියක් ඔහුගේ හෝ ඇයගේ මනස තුළ ඇති වෙන්න පුළුවන්. එහෙම තියෙද්දී පිරිසක් එකතුවී අඬන්න, වැලපෙන්න පටන් ගත්තොත් මරණාසන්න සිත තුළට නොයෙක් චේතනා ඇතුළුවෙන්න පුළුවන්. ඒ සියල්ල ත්‍රිවිධ තෘෂ්ණාවේම අංග. ඇතැම් විට ඒ මොහොතේ අකුසල මූලික චේතනාවක සිටියා නම් එය අවුල් වෙන්න පුළුවන්. එවන් මොහොතක මිය ගියොත් ප්‍රතිඵල දුගතියක් විය හැකියි. එය එසේමමයි කියා කියන්නේ නෑ. කොහොම නමුත් මරණාසන්න මොහොත නිවී සැනසී සිටින්නට අවකාශ සලසනවා විනා ඝෝෂාකාරී වටපිටාවක් ගොඩනැඟුවොත් මරණාසන්නව සිටින තැනැත්තාගේ මතුභවයට අනිසි බලපෑමක් සිදු විය හැකියි.
එවන් අවස්ථාවක කළ යුත්තේ කුමක්ද?
කෙනකු මරණාසන්නව සිටියදී ඔහු හෝ ඇය කළ කුසලයක් සිහිගන්වන්නට හැකි නම් එය මහා උපකාරයක්. එසේ වූ පමණින් ශක්තිමත් කුසල සිතක් අවදි වෙනවාද කීම අපහසුයි. ඒ නිසා තමයි මියදෙන මොහොත තමන්ට වාසනාවන්ත කර ගන්නට උනන්දු වෙන්න උපදෙස් බුදු දහමේ උගන්වන්නේ. එවිට අනුන්ගේ උපකාර අවශ්‍ය වන්නේ නෑ.
එනිසා මරණාසන්න මොහොතේ අනුන්ගේ උපකාර ගැන නොසිතා තමන්ට තමන් පිහිට කොට ජීවන ගමන නිවැරැදිව නොකැළැල්ව නිතර නිතර කුසල් දහම්හි නිරතවී අවසන් මොහොතේ තමන්ගේ සැනසුම තමන් විසින්ම ගොඩනඟා ගැනීමට කටයුතු කළ යුතුයි.
සාකච්ඡා කළේ
දිල්හානි ජයවර්ධන