Home » ඇළ අසල ඉදි කළ තාවකාලික ධර්ම සභාව

ඇළ අසල ඉදි කළ තාවකාලික ධර්ම සභාව

by sachintha
February 5, 2025 1:39 am 0 comment

නිරන්තරයෙන්ම ඇදහැලෙන ඇළ දොළ ගංගාවන්ගෙන් නිකුත් වන හඬත්, කැළේ සතා සිවුපාවුන්ගේ හඬත්, ස්වාභාවික පරිසරයේ හඬත් පමණක් ඇසෙන භික්ෂුවට මිනිස් හඬ ඇසෙන්නේ ගමට පිණ්ඩපාතයේ වැඩම කරනා විට පමණි. වනාන්තරය මොනතරම් සුන්දර ද? මිනිස් ඇස නොගැටෙන්න සැඟවී ගත කරන භාවනානුයෝගී ජීවිතය භික්ෂුවට මහා සැනසීමයි. කාලයක් තිස්සේ සෙවූ සැනසීම ලැබී තිබේ. අනේ, කිසිදු මිනිසෙක් මා සොයා නොපැමිණේවා! ඒ භික්ෂුවගේ සිතුවිල්ලයි.

ගමට පිණ්ඩපාතයේ වැඩම කරනා හැමවිටම ගම්වැසියන් සැදැහැ සිතින් දානය පූජා කර වන්දනා කරනු ලැබේ. ආශීර්වාද ගාථා කියන භික්ෂුවගෙන් කලාතුරකින් කවුරුන් හෝ යමක් ඇසුවත් එයට දෙන්නේ කෙටි පිළිතුරක් පමණි. බොහෝ දිනවල වචන පිට නොවී ගාථා පමණක්ම පිට වේ.

එහෙත් පෙරදා ගම් වැසියන් කිහිප දෙනෙක් භික්ෂුව වෙත පැමිණ බොහෝම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාවක් කරන්නට අවශ්‍ය බව කීහ. ඔවුන්ට ප්‍රශ්න ගණනාවක් තිබුණි. එහෙත් එදින භික්ෂුව පිටත් වූයේ භාවනා කටයුතු ගැන අධිෂ්ඨානයෙන් වන නිසා පසු දිනට එය කල් තැබිණි.

ගල් ලෙනෙන් පිට වී ටිකෙන් ටික ගම්මානය දෙසට වැඩම කරන විට ඇළෙන් එගොඩව මාර්ගයට බැස ගත්තෙමි. ගම්වැසියන් පාරට විත් තිබුණේ භික්ෂුව වැඩම කරවන්නට මුතු කුඩයක් ද රැගෙනය. ගම් වැසියන්ගේ යම් සූදානමක් ඇති බව භික්ෂුවට වැටහිණ. බෙර හඬ ද ඇසෙන්නට විය. තවත් පිරිසක් ඈතට වී භික්ෂුව එනතෙක් බලා සිට තිබේ. ඔවුන් ද ඉක්මණින් එන්නට විය. එකම සාදු කාර හඬකි. සියල්ලෝම සුපටිපන්නෝ ගාථාව එක හඬින් කියති. සැදැහැයෙන් පිරුණු ගම්වැසියන් පාවඩ එළමින් භික්ෂුව වඩමවාගෙන ගියේ ඇළ අසල තැනිතලා බිමක සකස් කරගෙන තිබුණ තාවකාලික ශාලාවකට ය.

සම්බුද්ධ පූජාව තබන්නට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද වැඩම කරවා, ආසන ද පනවා සියල්ලම සූදානම් කර තිබේ. මෙවැනි දෙයක් ගැන භික්ෂුවට අදහසක් තිබුණේ නැත. පා දෝවනය කිරීමෙන් පසුව භික්ෂුව පැනවූ ආසනයේ අසුන් ගන්නට විය. ඒත් සමඟම සැදැහැතියන් බුද්ධ පූජාව අත ගස්වා තැන්පත් කරන්නට විය. මහා ජනකායකගේ එකම සාදුකාර හඬකි. සියල්ලෝම ඉතිපිසෝ ගාථාවෙන් බුදු ගුණ සජ්ඣායනා කරති. බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් පසුව සියල්ලෝම භික්ෂුවගෙන් සිල් සමාදන් වී එකටම ගාථා සජ්ඣායනා කරන්නට වූහ. ඉන්පසුව දානය පූජා කරන්නට විය. දන් වළඳා පාත්තරයෙන් අත ගත් පසුව එය සෝදා අතුරුපසද පූජා කරන්නට විය. මේ මහා විශාල ජනකායකි. දන් වැළඳීමෙන් පසුව සියල්ලෝම අසුන් ගන්නට විය.

වැඩිහිටි ගම්වැසියෙක් නැඟිට කථාවක් කරන්නට විය. ඔහු ගම් වැසියන්ට ආරාධනා කළේ තිබෙන ධර්ම ගැටලු ඉදිරිපත් කරන ලෙසයි. එහිදී එක් අයෙක් නැගිට දීර්ඝ කථාවක් කරමින් තමන්ට දහම ගැන තිබෙන ප්‍රශ්න රාශියක් කියමින් මෙසේ අසන්නට විය.

ප්‍රශ්නය:- පින්වත් ස්වාමීන් වහන්ස,

අපේ රටේ බහුතරයක් ජීවත් වෙන්නෙ බෞද්ධයන්. මේ සියලු දෙනාට බොහෝ කලකට පසුව බුදු රජාණන්වහන්සේ දේශනා කළ ධර්මය මේ සමයේදී අසන්නට ලැබේ. එහෙත් මාගේ දහම් ගැටලුව වන්නේ ප්‍රතිපත්තිය පසෙකලා ආමිසය පසුපස යන මිනිසුන්ගේ සසර ගමනේ ඉරණම කුමක්ද ?

විද්‍යාව විෂයයකි, එහෙත් මට හැඟෙන්නේ ධර්මය යනු හැදෑරිය යුතු විෂයයක් නොවේ. මනසින් තේරුම් ගත යුතු ප්‍රත්‍යක්ෂයකි. අතීතයේ දී එක් දහම් පදයෙන්, එක් දහම් කරුණකින් යථාර්ථය අවබෝධ කරගත් මිනිසුන් සහ ආගම සහ ධර්මය විලාසිතාවක් කරගත් මිනිසුන් අතර වෙනස පහදා දෙන්න

භික්ෂුවගේ පිළිතුර – පින්වන්ත මහත්මා, මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි.Ó

Òමහණෙනි, පින් කිරීමට භය නොවන්න, මහණෙනි, මේ පින් යනු යහපත් වූ, සිත් කළු වූ, ප්‍රිය වූ, මන වඩන්නා වූ, සැපයට නමකි.Ó (ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාලිය, මා පුඤ්ඤභායී සූත්‍රය)

බුදු පියාණන් වහන්සේ ද, බොහෝ කාලයක් කරන ලද පින්කම්වල ප්‍රතිඵල ලෙස යහපත් වූ, සිත්කලු වූ, ප්‍රිය වූ, මන වඩන්නා වූ, සැප ලැබූ බව මේ සූත්‍රයේ දී දේශනා කළහ.

‘තීණිමානි, භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.

“මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනකි. කවර තුනක්ද යත්? දානමය පුණ්‍යක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවය යන මේවායි. (අංගුත්තර නිකාය අට්ඨක නිපාතය, දාන වර්ගය).

‘කෙසං දිවා ච රත්තො ච, සදා පුඤ්ඤං පවඩ්ඪති;

ධම්මට්ඨා සීලසම්පන්නා, කෙ ජනා සග්ගගාමිනො’ති.

දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? ධර්‍මයෙහි පිහිටි සීලවන්ත වූ කුමන ජනයෝ සුගතියට යත්ද?

සංයුක්ත නිකාය වන රෝප සූත්‍රයට අනුව, මල් වතු, පලතුරු වතු වැවීම, වන වගාව, ඒ දඬු පාලම් දැමීම, පැන්හල්, පැන්පොකුණු, ආවාස සාදා දීම, දිවා රෑ දෙකෙහි පින් වැඩෙන පින්කම් ලෙස දක්වා තිබේ.

මේ ආකාරයට බොහෝ තැන්වලදී බුදු රජාණන් වහන්සේ පිංකම් කර ගන්න යැයි දේශනා කර තිබේ. එයට හේතුව හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වන මේ නාමරූප ධර්මයන්ගේ පැවැත්ම අවසන් වීම වන අනුපාදිසේස පරිනිර්වාණය තෙක් කුසල විපාක අවශ්‍යම වන හෙයිනි.

මේ ධර්ම සාකච්ඡාවේ ඉතිරිය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරෙන් සකස් කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT