Home » අපට ලැබුණේ දූෂණයට-වංචාවට වැට බඳින ජන වරමක්

අපට ලැබුණේ දූෂණයට-වංචාවට වැට බඳින ජන වරමක්

-ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක

by sachintha
February 5, 2025 3:06 am 0 comment

දුම්රිය සේවාව සතුටුදායක සේවාවක් කරනවා

රටේ ආර්ථිකය දැන් වර්ධනය වෙන්න පටන් අරන්

කන්ටේනර් නිදහස් කිරීම ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පැමිණිලි කරන්න

 

දුම්රිය සේවාවේ ප්‍රවර්ධනයට සහ වරායේ පවතින ගැටලු නිරාකරණයට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු තවත් කාලීන ගැටලු කිහිපයක් පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

මගී ජනතාවට සෑම අතින්ම පහසු දුම්රිය සේවාව නවීකරණයවීම කාලීන අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ?

දුම්රිය සේවය ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහනයට වගේම භාණ්ඩ ප්‍රවාහනයටත් යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍යයක්. මේ ක්ෂේත්‍ර දෙකටම යොදා ගත් දුම්රිය සේවය පසුගිය අවුරුදු විස්ස, විසිපහ කාලය තුළ හරියාකාරව නවීකරණයට ලක් කර නෑ. විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා නම් දුම්රිය යොමු කළේ නැති තරමටම දුර්වල වෙලා තියෙනවා. එනිසා මාර්ග තදබදය ඇතිවී, වාහනවල දුම් විමෝචනය වී පරිසරය දූෂණය දක්වා මෙය වර්ධනය වී තිබෙනවා. ප්‍රවාහනයේ පවතින ගැටලු නිසා එළවළු වැනි දෑ සියයට විසි පහකින් පමණ විනාශයට ලක්වෙනවා. මේ විනාශය වළක්වා ගැනීමට දුම්රිය හොඳම ප්‍රවාහන මාධ්‍යයක්. අපේ රටේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගන්නේ සියයට දෙකක් පමණයි.

පසුගිය කාලයේ දුම්රිය සේවය නවීකරණය කරන්න සහ තත්ත්වයට ගැළපෙන සේවයක් ලබා දෙන්න අවශ්‍ය ආයෝජන හරියාකාරව සිදුවී නෑ. පහුගිය ආණ්ඩු රජයේ සේවය දුර්වල කරන්න ඕනෙ, වසා දමන්න ඕනෙ, විකුණන්න ඕනෙ කියන ප්‍රතිපත්තියේ සිට තමයි කටයුතු කළේ. එනිසා දුම්රියේ ඉඩම් ටික විකුණාගන්න එක හැරෙන්න දුම්රිය නිලධාරීන් බඳවා ගැනීම සහ දුම්රිය එන්ජින් අලුතින් ගැනීම වැනි පැතිවලට අවධානය යොමු වෙලාම නෑ.

දුම්රිය කියන්නේ අති විශාල කර්මාන්තයක්. එනිසා ඒ වෙනුවෙන් අති විශාල ආයෝජනයක් ද අවශ්‍යයි. එනිසා අද දකින වැරැද්ද හෙට උදේ හදන්න බෑ. දුම්රියේ ප්‍රධාන වෙනස්කම්වලට යන්න අවුරුදු කිහිපයක් ගතවෙනවා. අපි දැනට පටන්ගෙන තියෙන්නේ ඉතාම කෙටිකාලීනව කරන්න පුළුවන් වෙනස්කම් කරන්න. ඒ යටතේ දුම්රිය අවලංගුවීම් නතර කරන්න, දුම්රිය ප්‍රමාදය අවම කරන්න, දුම්රිය මැදිරිවල පිරිසුදුකම පවත්වාගෙන යන්න සහ අත්‍යවශ්‍ය සේවකයන් බඳවා ගන්න කටයුතු කරමින් ඉන්නවා. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ සම්බන්ධවී දුම්රිය ස්ථාන මහජන හිතෛෂී ස්ථාන බවට පත්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. කෙටිකාලීනව කරන්න බලාපොරොත්තු වන දුම්රියේ විවිධ තනතුරු සඳහා සේවක සේවිකාවන් දහඅටදාහක් පමණ බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දුම්රිය එන්ජින් ප්‍රමාණයක් ලංකාවට ලැබීමට තියෙනවා. තවත් අලුතින් දුම්රිය එන්ජින් මිලදී ගන්නත් සැලසුම් කර තිබෙනවා.

දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් සැලැස්මක් දැනටමත් සකස් කරමින් යනවා. දුම්රිය සේවයේ ප්‍රවර්ධනයට සැලසුම් අපි සතුව තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න යම් කාලයක් ගතවෙනවා. මේ මොහොතේ දුම්රිය අවලංගුවීමට නොදී දුම්රිය ප්‍රමාදය අවම කර ජනතාවට සතුටුදායක සේවයක් ලබා දීමට වැඩි අවධානයක් යොමු කර තියෙනවා.

ලංගම සභාපති එම තනතුරෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. ඒ ගැන ඔබගේ අදහස් කුමක්ද ?

ලංගම සභාපතිතුමා එම තනතුරෙන් ඉවත් වුණා. මේ ගැන එතුමාගෙන්ම අහන එක තමයි හොඳ. බොහෝවිට එතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් මේ ඉවත්වීම සිදුවූවා වෙන්නත් පුළුවන්.

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් බහලුම් වරායෙන් පිටතට පැමිණ තිබෙන බවට විවිධ චෝදනා එල්ල වෙනවා. මෙහි සත්‍යය කුමක්ද ?

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. එම නිවේදන පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කළා. පවතින විශේෂ තත්ත්වයන් යටතේ රේගු දෙපාර්තමේන්තුවේම විශේෂ ඒකකයක් පිහිටුවා එහි තීරණ මත කන්ටේනර් නිදහස් කරන්න රේගු දෙපාර්තමේන්තුවට බලයක් තිබෙනවා. හැන්සාඩ්ගත කරන ලද වාර්තාවට අනුව මීට පෙර පස් වතාවක් මෙය සිදු කර තිබෙනවා. ආසන්නම වශයෙන් 2024 ජූලි මාසයේත් මෙවැනිම දෙයක් කර තිබෙනවා. මෙතැන තියෙන දෙය තමයි මේ බහලුම් 323ම පරීක්ෂා කළ යුතුයි කියලා හඳුනාගෙන, ඒවායින් අය කර ගතයුතු ගාස්තු අය කරගෙන තමයි මේ නිදහස් කිරීම කරන්නෙ. එසේ නොමැතිව නිකංම නිදහස් කර නෑ. ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව ගාස්තු අය කරගෙන තියෙනවා. නමුත් දැනටමත් රේගුවට මේ පිළිබඳව පරීක්ෂා කරන්න බලයක් තියෙනවා. මෙය වරායේ තදබදය අවම කරන්න රේගු දෙපාර්තමේන්තුව ගන්නා ලද පියවරක්. නමුත් මේ කන්ටේනර් නැවත පරීක්ෂා කිරීමට හැකියාවක් තියෙනවා. මම දන්නා තරමින් මේ කන්ටේනර් එකක්වත් නිකං නිදහස් කර නෑ. මේවා නැවෙන් ලොරියට දාලා ලොරියෙන් එළියට නිදහස් කරලා නෑ. එනිසා මෙය රේගුවේ නීත්‍යානුකූල සීමාවේ සිට හදිසි අවස්ථාවකදී කළ දෙයක්.

සජිත් ප්‍රේමදාස මහතා සහ පොහොට්ටුවේ අය මේ පිළිබඳව විවිධ චෝදනා ඉදිරිපත් කළා. මේ කන්ටේනර් තුළ කුඩු, ගංජා, රත්රන් තියෙනවා කිව්වා. මේකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාත් සම්බන්ධයි කිව්වා. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ අයට සහ පොදුජන පෙරමුණේ කණ්ඩායම්වලට අවශ්‍ය කරන උල්පන්දම් සැපයූවේ රේගු දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක්. ඔවුන් තමා මේ බහලුම් 323 පිළිබඳව විශාල ප්‍රශ්න කිරීමක් කළේ. හැබැයි පසුව මම දැක්කා, ඔවුනුත් මේ පිළිබඳව ඉදිරිපත් කළ අදහස්වල යම් යම් වෙනස්කම් කර තියෙනවා. අපි කියන්නේ මේවායේ කුමන හෝ වංචාවක් වුණා නම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් දැන් රේගු දෙපාර්තමේන්තුවම කියලා තියෙනවා, එහෙම වංචාවක් සිදු වුණේ නෑ කියලා.

ඔය විපක්ෂයේ පක්ෂ දෙකේම ඉන්නේ රේගුවෙන් බඩු පන්නන කණ්ඩායමනෙ. මෑතකදී පිටරටවලින් පන්නපු වාහනයක් බට් කර පාවිච්චි කළා කියලා සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහට චෝදනාවක් තියෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ යන අයටත් තියෙන්නේ මේ චෝදනා. එයාලා දන්නවා, මේ වාහන රේගුවෙන් පන්නන ආකාරය. ඒ අය දන්නවා, රේගුවෙන් මේවා පැන්නුවේ හොරකමට කියලා. එනිසා ඒ අය හිතනවා, කන්ටේනර් මේ වගේ නිදහස් වුණාම අපිත් ඒ වගේ කියලා. අපි ජනවරමක් අරන් තියෙන්නෙ දූෂණයට එරෙහිව. රේගුවේ වරායේ ටොන් ගණන් බඩු පිරුණත් ඒ ජනවරම අබමල් රේණුවකින්වත් හානි කර ගන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ අපි කටයුතු කරන්නේ නෑ. අපි හදිසියේ දූෂණයට පාර කපන්න සූදානම් නෑ. එහෙමනම් සහල් හිඟය එන වෙලාවේ ඕනතරම් සහල් ගේන්න අවසර දෙන්න තිබුණා. එහෙම වුණානම් සහල් මිලත් යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. එහෙම කළානම් දැන් ගොයම් කපන කොට සහල් ටොන් ගණන් වෙළෙඳපොළට ඇවිත් ගොවියා අනාථ වෙනවා. එනිසා හදිසිය සහ කලබලය කියන එකෙන් හොරකමට අපි පාර කපන්නේ නෑ. එනිසා දූෂණයට එරෙහි ජනවරමේ සාරය සහ බර සජිත් ප්‍රේමදාසලාට නාමල්ලාට වඩා අපිට තේරෙනවා. එනිසා කන්ටේනර් නිදහස් කිරීම ගැන කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන උසාවියකට, ඕන පොලීසියකට දැන් පැමිණිලි කරන්න පුළුවන්.

මේ වනවිට වරායේ පවතින බහලුම් තදබදය අවම කරන්න සැලසුම්සහගත වැඩපිළිවෙළක් තිබේ ද ?

මේ ප්‍රශ්නය දෙසැම්බර් මාසයේ මුලම හඳුනාගෙන එය කෙටිකාලීනව විසඳන්න කැබිනට් අනුකමිටුවක් පිහිටෙව්වා. සමහර ප්‍රශ්න දීර්ඝකාලීනව පැවතුණු ඒවා. ඒවාට හදිසියේ උත්තර හොයන්න බෑ. උදාහරණයක් ගත්තොත් කොළඹ වරායට හසුරුවන්න පුළුවන් කන්ටේනර් ප්‍රමාණයෙන් දැන් සියයට අසූ දෙකක් පිරිලා තියෙන්නෙ. එනිසා අනිවාර්යයෙන්ම කොළඹ වරායේ තිබෙන බහලුම් වෙනත් බහලුම් පරීක්ෂා කරන ස්ථානවලට යවන්න ඕනෙ. ඒවගේම මේ වරායේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික් කරන්න ඕනෙ. එසේ කළොත් මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.

මෙරට ආර්ථික ක්‍රියාවලිය දැන් තරමක් වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. එවිට ආනයන අපනයන වැඩි විය යුතුයි. මේවාට වරායක් එකවරම විශාල කරන්න බෑ. ඒකනෙ කියන්නෙ තල වපුරලා මුං බලාපොරොත්තු වෙන්න එපා කියලා. එනිසා දැන් අපි මේ කැබිනට් අනුකමිටුව පිහිටෙව්වේ කෙටිකාලීනව කරන්න පුළුවන් විසඳුම් දෙන්න. මේ කැබිනට් අනුකමිටුව අවස්ථා කිහිපයකදී අපි කැඳෙව්වා. එහිදී අපි ප්‍රශ්න විද්‍යානුකූලව හඳුනාගත්තා. විශේෂයෙන් ආහාර වගේ දේවල් ඇති කන්ටේනර් විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතුයි. එසේ එක කන්ටේනරයක් පරීක්ෂා කර එවනතුරු අනෙක් කන්ටේනර් වරායේ තබාගත යුතුයි. එසේ දින කිහිපයක් අරගෙන පරීක්ෂා කළ යුතු කන්ටේනර් 350ක් පමණ දවසකට එකතු වෙනවා. ඒවා වරාය ඇතුළෙ ගොඩගැහෙනවා. එනිසා එයට විසඳුම් විදියට වරාය සතු බ්ලූමැන්ඩල් අක්කර හතර හමාරක ඉඩමක් අපි පසුගියදා ලබා දුන්නා, ඇතුළේ පරීක්ෂා කරන කන්ටේනර් එහි තබාගෙන අනෙක් කන්ටේනර් රේගු ආරක්ෂාව යටතේම මෙහි තබන්න.

එවගේම වරායේ බහලුම් ගෙන යෑමට එන ලොරි රථ රියැදුරන් සහ පිටකොටුවට බඩු ගෙන යන අය දහවල් භාණ්ඩ බාන්න බැරි නිසා ලොරි රථ නිදහස් කළාට ඒ අය එළියට යන්නේ නෑ. එනිසා ඒ අය ලොරි වරාය ඇතුළෙම තියාගෙන ඉන්නවා. එයිනුත් තදබදය වැඩි වෙනවා. එයට විසඳුමක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයිති පෑලියගොඩ ප්‍රදේශයේ වෙනම ස්ථානයක් තියනවා. එතැන ඔවුන්ට රැඳී සිටින්න පුළුවන්.

ආහාර දෙපාර්තමේන්තුව, සත්ත්ව නිරෝධායන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගේ ආයතනවල කාර්ය මණ්ඩල බොහොම අඩුවෙන් හිටියේ. ඔවුන්ට එනිසා රාත්‍රී වැඩ කිරීම හරිම අපහසුයි. ඒ හේතුව නිසා අපි එම ආයතනවලට අලුතින් නිලධාරීන් බඳවා ගත්තා. දැන් ඔවුන් පැය විසි හතරම වැඩ කරනවා. කොළඹ වරාය පැය විසි හතරම වැඩ කළාට රේගුව සහ අනෙක් ආයතන එකක්වත් පැය විසි හතරම වැඩ කළේ නෑ. නමුත් දැන් එම ආයතනත් පැය විසි හතරම වැඩ කරන්න පටන්ගෙන තියෙනවා. එයත් මේ තදබදය අවම කිරීමේ තවත් එක් සැලසුමක්.

රේගු නිලධාරීන්ගේ සේවය තවත් කාර්යක්ෂම කරන්න අභ්‍යන්තරිකව සිදු කර ගතයුතු වෙනස්කම් කිහිපයක් තියෙනවා කියලා අපි හිතනවා. පසුගිය දිනවල සියලු සංවිධානවල යෝජනා මේ සඳහා ලබා ගත්තා. එහිදී පෙනී ගිය කරුණක් තමා සමහර රේගු පරීක්ෂණ ආයතනවල ඉන්න කම්කරුවන් ප්‍රමාණයේ මදිකම. කම්කරුවන් අඩු නිසා කන්ටේනරයක් පරීක්ෂා කරන්න විශාල කාලයක් යනවා. එනිසා අපි උපදෙස් දී තියෙනවා, ඒවාට අවශ්‍ය පිරිස බඳවාගැනීම් කරන්න කියලා. කම්කරු වැටුප අඩු නිසා ඒවාට එන පිරිස අවමයි. ඒ සඳහාත් විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.

දිල්හානි ජයවර්ධන

ඡායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT