Home » අවතැන් වූ සිවිල් වැසියන්ට යළි ගම්බිම් යෑමට කොංගෝ කැරලිකරුවෝ සටන් විරාමයක් කැඳවති

අවතැන් වූ සිවිල් වැසියන්ට යළි ගම්බිම් යෑමට කොංගෝ කැරලිකරුවෝ සටන් විරාමයක් කැඳවති

by sachintha
February 5, 2025 2:08 am 0 comment

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ උද්ගත වී ඇති සිවිල් යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එරට කැරලිකාර කණ්ඩායම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින ගණනාවක් පුරා රජයේ හමුදාව සමඟ සටන් වැදී සිටින එම්23 නමින් හඳුන්වනු ලබන එරට කැරලිකාර සන්නද්ධ කණ්ඩායම මේ පියවර ගෙන ඇත්තේ කොංගෝ ජනරජයේ නැඟෙනහිර පළාත් රැසක් අත්කර ගැනීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කොංගෝ ජනරජයේ විශාලතම නගරය වන ගෝමා නගරයත් කැරලිකාර කණ්ඩායම අතට පත්වී ඇති අතර, ගතවූ දින 5ක කාලය ඇතුළත යුද ගැටුම්වලින් පුද්ගලයන් 773දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

කැරලිකාර කණ්ඩායම එරට ස්වෛරීභාවය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බව කියමින් G7 සන්ධානය සහ යුරෝපා සංගමය යුද ගැටුම් හෙළා දැකීමට පියවර ගෙන ඇති අතර, කොංගෝ රජයේ හමුදාව කැරලිකරුවන් ඉලක්ක කරමින් ගුවනින් බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය වූ බවට ද චෝදනා එල්ල කර තිබේ.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වී සිටින අතර, මේ වසරේ පළමු මාසයේදී ලක්ෂ 4කට අධික පිරිසක් බලහත්කාරයෙන් නිවාසවලින් ඉවත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ප්‍රකාශ කර තිබේ. සිය ප්‍රහාරවලින් රජයේ හමුදා පසුබැස පලා යන බවටත්, තවත් පිරිසක් යටත් වූ බවටත් කැරලිකාර කණ්ඩායම මීට පෙර නිවේදනය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT