Home » බිරිය මරා සැමියා පොලීසියට භාරවෙලා

බිරිය මරා සැමියා පොලීසියට භාරවෙලා

-පවුල් ආරවුලක් බවට සැක:සැමියා හිටපු සෙබළෙක්

by sachintha
February 5, 2025 2:04 am 0 comment

තම දියණියගේ නි‍ෙවසේ නිදාගෙන සිටි බිරියට පිහියකින් ඇන ඝාතනය කර සැමියා ඊයේ (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී ඇති බව නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති 46 හැවිරිදි තිදරු මවකි.

සැමියා සමඟ නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නි‍ෙවසේ නැවති සිටි බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර දානමය පින්කමකට සහභාගිවීමට පෙරේදා (03) නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි දියණියගේ නි‍ෙවසට පැමිණ නතර වී සිටියදී ඊයේ (04) අලුයම 1.30ට පමණ පිහියක් අතැතිව නි‍ෙවසේ පහළ මහලේ ජනේලය මතින් හොර රහසේ නි‍ෙවසට ඇතුළු වූ පියා කාමරයේ නිදා සිටි මවට පිහියෙන් ඇනීමත් සමඟ මව ඔහුගෙන් බේරීමට නි‍ෙවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හඹා ගිය පියා නි‍ෙවසෙන් පිටතදී යළි මවට පිහියෙන් ඇන ගලකින් හිසට ගසා මව ඝාතනය කළ බවට ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දියණිය පොලීසියට ප්‍රකාශ කර ඇත.

මව බේරීමට ගිය දියණියට තුවාල වී ඇති බවත්, මේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බවත්, ජීවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාර සැමියා කාලයක් තිස්සේ වෙන් වී ජීවත් වී ඇති බවත් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වු බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරු යුද හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු බවද පොලීසිය පැවසීය. නාවලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවද ස්ථානාධිපතිවරයා පැවසීය. නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතාගේ උපදෙස් පරිදි නාවලපිටිය පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, පො.සැ. නිලන්ත හේරත් (20191), පො.සැ. කපිල දේශප්‍රිය (71950), කා.පො.සැ ඉනෝකා (2972), පො.කො. අනුරුද්ධ (77177) නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඡායාරූප හා සටහන හැටන් – රංජිත් රාජපක්ෂ සහ ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT