Home » රෝග නිවාරණයට ක්‍රීඩාවත් ව්‍යායාමත් අත්‍යවශ්‍යයි

රෝග නිවාරණයට ක්‍රීඩාවත් ව්‍යායාමත් අත්‍යවශ්‍යයි

-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
February 5, 2025 2:07 am 0 comment

රෝග නිවාරණයේදී ක්‍රීඩාව සහ ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කර ගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“පසුගිය වසරේ රජයේ රෝහල්වලට වෛද්‍ය සැපයීම් ඒකකයෙන් ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව සම්බන්ධ ඖෂධ සැපයීම සඳහා රුපියල් මිලියන 7300ක පමණ මුදලක් වියදම් කර තිබෙනවා. එම මුදල් ප්‍රමාණය දෛනිකව ඉහළ යනවා. භාණ්ඩාගාරයෙන් දෙන මුදල් ප්‍රතිකාර සේවා සඳහා ඖෂධ මිල දී ගැනීමට වැඩි වැඩියෙන් යෙදවීමට කටයුතු සැලසුම් කරනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකම රෝග නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධයෙන් වූ සංකල්පය සෞඛ්‍ය සේවාව හා බද්ධ වූ සංකල්පයක් ලෙස ගනිමින් මේ ක්ෂේත්‍රය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි. 2015 වසරේ සිට ක්‍රීඩා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සිදු කරනවා. ක්‍රීඩා පිටියටම ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධව සොයා බැලීමට තිබෙන අවස්ථාව තවමත් අඩු තත්ත්වයක පවතිනවා.

මුළුමහත් සමාජයම නීරෝගි කිරීමට ක්‍රීඩාව සහ ව්‍යායාම උපයෝගී කර ගැනීමට කටයුතු කරනවා මෙන්ම විශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතාව දීමේ දී දිය යුතු මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මෙරට දැනට ක්‍රීඩා වෛද්‍ය ඒකක 16ක් තිබෙනවා. සමහර පළාත්වල එකම ක්‍රීඩා වෛද්‍ය ඒකකයක්වත් නෑ.”

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප ඇතුළත් ඡායාරූප ගැලරිය විවෘත කිරීම ද මෙහිදී ඇමැතිවරයාගේ ප්‍රධානත්‌වයෙන් සිදු කෙරිණි. ජාත්‍යන්තරව තරග නියෝජනය කරමින් ජයග්‍රහණය ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී නෙත්මි අහිංසා දෙපළගේ ඡායාරූප දෙකක් ඔවුන්ගේ අතින්ම මෙහිදී නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.

මේ අවස්ථාව‌ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ක්‍රීඩා ව්‍යායාම වෛද්‍ය ඒකකය භාර විශේෂඥ වෛද්‍ය කිත්සිරි පෙරේරා මහත්වරු ද, පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT