Home » පූර්ව ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය 2026දී ජනගත කරනවා

පූර්ව ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය 2026දී ජනගත කරනවා

-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
February 5, 2025 2:36 am 0 comment

පූර්ව ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය 2026 වසරේදී ජනගත කරන බව අගමැතිනි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මියගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන විෂය භාර අතිරේක ලේකම් සුජාතා කුලේන්ද්‍ර කුමාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටුවීමට තීරණය කෙරිණ.

එළැඹෙන 2026 වර්ෂයේ දී 1, 6 සහ 10 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේදීම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්ති මාලාව ද ඉදිරිපත් කරන බවත් එම ප්‍රතිපත්තිය සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේ දී පසුගියදා පැවැත්විණි.

පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතු බව ද අගමැතිවරිය ප්‍රකාශ කළාය.

රට පුරා විවිධාකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතුව එකම ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම මෙමඟින් සිදු කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ ජාතික ප්‍රතිපත්තිය සූදානම් කරන ලෙස අගමැතිවරිය විසින් නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදීම සිදු කෙරිණි.

එම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන්ම සියලු පළාත්වලට ද අදාළ විය යුතු බවත්, ඒ තුළ පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවා ගැනීමේ විභාග යනාදී සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති නාමල් සුදර්ශන, එම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT