Home » චම්පිකගෙන් ජාතික වගවීමේ ප්‍රකාශනයක්

චම්පිකගෙන් ජාතික වගවීමේ ප්‍රකාශනයක්

by sachintha
February 5, 2025 2:01 am 0 comment

ජාතික නිදහස් දිනයදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එම පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයන් ජාතික වගවීමේ ප්‍රකාශනයක් දළදා වහන්සේ හමුවෙහි ඉදිරිපත් කළහ.

මංජුසාවක බහා දළදා මාලිගාවට රැගෙන ආ ජාතික වගවීමේ ප්‍රකාශනය පත්තිරිප්පුව ඉදිරිපිට සිට ඉදිරිපත් කළ අතර එහි මෙසේ සඳහන් විය.

දේශපාලන පක්ෂ හා නායකයන් විසින් මැතිවරණයකට පෙර ප්‍රකාශ කරන හා පොරොන්දු ලබා දෙන ලිඛිත, වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම හා ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ කිරීම වර්තමානයේ ද අතීතයේ ද දැකගත හැකි වංචනික දේශපාලනික ක්‍රියාවලියකි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වනුයේ පුරවැසියා නොහොත් ඡන්දදායකයා හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඇති වන සමාජ සම්මුතිය බව අප පිළිගන්නෙමු.

එමෙන්ම නිදහස් මැතිවරණවලින් බලයට පත්වන මහජන නියෝජිතයන් සිය ලිඛිත හා වාචික ප්‍රකාශන ක්‍රියාත්මක කරලීම සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවංකභාවය හා ප්‍රායෝගිකත්වය පිළිබඳ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව ද අප පිළිගන්නෙමු.

එහෙයින් මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ හා නායකයන්ගේ ලිඛිත හා වාචික ප්‍රකාශන හා පොරොන්දු ඉටු කිරීම සඳහා නීතිමය වටපිටාවක් අත්‍යවශ්‍ය බැව් අපි මෙහිදී අවධාරණය කරන්නෙමු.

දේශපාලන පක්ෂ හෝ නායකයන්, දේශපාලනඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ ඡන්දදායකයාට සිය නියෝජිතයාට අභියෝග කළ හැකි, ඔහුගේ පදවිය පවා අහෝසි කළ හැකි, එමෙන්ම සාධාරණ වන්දියක් ලබාගත හැකි, නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය බව අපි අවධාරණය කරන්නෙමු.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT