Home » නාවික හමුදාව ජාතියට ගෞරව පුදමින් ආචාර වෙඩිමුර පිරිනමයි

නාවික හමුදාව ජාතියට ගෞරව පුදමින් ආචාර වෙඩිමුර පිරිනමයි

by sachintha
February 5, 2025 2:06 am 0 comment

අභිමානවත් 77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලාංකේය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩිමුර 25ක් පිරිනමයි.

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව පෙරදැරිව පැවති 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, ඊයේ (04) මධ්‍යහ්න 12.00 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් චන්දන ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

වෙඩිමුරයක් පවත්වා ආචාර පුදකිරීමේදී පිරිනැමෙන උපරිම වෙඩිමුර ප්‍රමාණය වන වෙඩිමුර 25ක් පිරිනැමීම ජාතිය වෙනුවෙන් පිරිනමනු ලබන අතර, වෙඩිමුර පවත්වා ආචාර පුදකිරීමේ සම්ප්‍රදාය සඳහා 14 වැනි ශතවර්ෂය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ආචාර ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩිමුර ආචාරයක් පිරිනැමීම එවකට රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ 1948 වර්ෂයේ පෙබරවාරි මස 04 වැනි දින සිට නාවික හමුදාව විසින් ජාතිය වෙත ගෞරව පුදකිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබ ඇති අතර, 2021 වර්ෂයේ සිට මෙම ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පිරිනැමීම නෞකාවක් මත සිට සිදු කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව, 77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මතදී ඊයේ 04 මධ්‍යහ්න 12.00ට නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව සිදු කෙරිණි.

තවද, වෙඩිමුර ආචාරය පැවැත්වෙන අවස්ථාවේ සයුර නෞකාවේ කුඹගස ධජ මඟින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් ‘25 Gun Salutes for the Nation’ යන පණිවුඩය කියැවෙන ආකාරයට සාම්ප්‍රදායිකව සැරසීමද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

 

රක්ෂණ ශ්‍රියන්ත

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT